August 23, 2026

2023 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 84ක බදු මුදල් පැහැර හැර ඇති පුද්ගලයන්ගේ සහ ආයතනවල නාම ලේඛනය මෙන්ම, රුපියල් බිලියන 57ක බදු සහන ලබාදුන් පුද්ගලයන් සහ ආයතන පිළිබඳ සියලුම තොරතුරු වහාම ප්‍රසිද්ධ කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආර්.බී.ජේ. සුරංග නැමැති පුරවැසියෙකු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

බදු සහන ලෙස අත්හැර දමන ලද මුදල් මහජන අරමුදල්වලට සෘජුවම බලපාන බැවින්, එකී සහන ලැබූවන් කවුරුන්දැයි දැනගැනීමේ පූර්ණ අයිතිය මහජනතාව සතු බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

පෞද්ගලික තොරතුරු සහ රහස්‍යභාවය සුරැකීමේ වගන්ති ඉදිරිපත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළද, මහජන යහපත හමුවේ එම රහස්‍යභාවය අහෝසි වන බව කොමිසම තීන්දු කළේය.

එක්සත් රාජධානියේ බදු පාලන පද්ධතිය උදාහරණයට ගනිමින්, බුද්ධිමත්ව බදු පැහැර හරින්නන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කිරීම (Name and Shame) හරහා රටක ආර්ථික ශුභසිද්ධිය වර්ධනය වන බව කොමිෂන් සභාව අවධාරණය කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 මාධ්‍ය නිවේදනයක් මගින් බදු අයකරගැනීම අත්හිටුවා ඇති බව කියන සියලුම පුද්ගලයන්ගේ සහ ආයතනවල නාම ලේඛනය සහ ඔවුන්ගේ බදු වගකීම්වල බිඳවැටීම (Breakdown) වහාම නිකුත් කළ යුතුව ඇත.