November 20, 2026

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20) යළි නිරාවරණය කර තිබේ.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මඟපෙන්වීම යටතේ විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

වර්ග අඩි 2,900කින් සමන්විත රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කර තිබීම විශේෂත්වයකි. ඒ සඳහා ඉතාලියේ ප්‍රකට සමාගමක තාක්ෂණික උපදෙස් හා සැලසුම් මෙන්ම ජාත්‍යන්තර ඉංජිනේරු සමාගම්වල උපදේශකත්වය සහ දේශීය සමාගම් රැසක දායකත්වය ද ලබාගෙන තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මැදුරට ඉහළින් ඉදිකර ඇති මෙම රන් වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 වසරේදී ආරම්භ කර ඇත.

ක්‍රිස්තු වර්ෂ 1592දී පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකරන ලද දළදා මාලිගය තුළ පිහිටි මෙම රන් වියන 1987 වසරේදී සාදවා ශ්‍රී දළදා මාලිගාව වෙත පූජා කරන ලද්දකි. කාලයත් සමඟ රන්පත් අවර්ණ වී ක්ෂය වීම හේතුවෙන් එහි පැවති දිස්නය හා අලංකාරය අඩුවීම නිසා මෙලෙස ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම රන් වියනේ ලෝහමය සැකිල්ල ඉංජිනේරු පරීක්ෂාවකට ලක්කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර, රන් නෙළුම් මල් ඇතුළු සියලු අලංකරණ අංග ද යළි ප්‍රතිසංස්කරණය කර ඇත. රන් වියනට ඉහළින් ඇති කොත් කැරලි ද්විත්වය සිංගප්පූරුවේ Royal Insignia සමාගම විසින් දඹරනින් නිර්මාණය කර තිබේ. එමෙන්ම ජපානයේ Iwasaki සමාගමේ High-Beam Eye Light ආලෝකකරණ පද්ධතියක් ද ස්ථාපිත කර ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දෘශ්‍ය අනන්‍යතාවයේ සුවිශේෂී අංගයක් වන මෙම රන් වියන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණයකි. මෙය මීට පෙර 2002 සහ 2018 වසරවලදී ද ප්‍රතිසංස්කරණය කර තිබේ.