August 22, 2026

දිවයින පුරා සිටින ගවයන්, මී හරකුන් සහ එළුවන් කුර සහ මුඛ රෝගය මෙන්ම ‘ලම්පි ස්කින්’ චර්ම රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා නොමිලේ එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම ස්වාභාවික ආපදා සමයන්හිදී පශු අංශයේ සත්වයන් අතර මෙම රෝග ශීඝ්‍රයෙන් පැතිර යෑම වැළැක්වීමත්, සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවමින් රටේ පශු සම්පත් ක්ෂේත්‍රය බලගැන්වීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 152කට අධික මුදලක් වෙන්කර ඇත.

ඒ, කුර සහ මුඛ රෝග එන්නත් සඳහා රුපියල් 79,275,000ක් සහ ලම්පි ස්කින් රෝග එන්නත් සඳහා රුපියල් 73,030,000ක් වශයෙනි.

නොමිලේ ලබාදෙන මෙම එන්නත් මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති සියලුම ප්‍රාදේශීය පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට පියවර ගෙන තිබේ.

තමන්ගේ ගවයන්, මී හරකුන් සහ එළුවන් මෙම නොමිලේ ලබාදෙන එන්නත්කරණය සඳහා අදාළ ප්‍රාදේශීය පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමුකරමින් රටේ පශු සම්පත ආරක්ෂා කරගැනීමට දායක වන ලෙස අමාත්‍යාංශය සියලුම ගොවීන්ගෙන් සහ සත්ව හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.