March 12, 2024

එළඹෙන ජාතික මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට උත්සාහ කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට රජය ගෙන ඇති නව උත්සාහයක් පිළිබඳ වාර්තා වේ.

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පසුගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 160 දෙනකු කොට්ඨාස ක්‍රමය යටතේද තවත් මන්ත්‍රීවරුන් 165 දෙනකු සමානුපාතික නියෝජනය යටතේද තේරී පත් වේ.

කොට්ඨාස ක්‍රමය යටතේ, ප්‍රාදේශීය මැතිවරණ කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා සභාවේ ආසනයක් දිනාගනී.

ඊට ප්‍රතිවිරුද්ධව, සමානුපාතික ක්‍රමය යනු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන පරිදි පාර්ලිමේන්තුවේ පක්ෂවලට ආසන වෙන්කිරීමයි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් සඳහා මෙම පත්‍රිකාව යොමුකර තිබේ.

ඇමැති රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇතැම් පාර්ශ්ව යෝජනාවලට පක්ෂව සිටින අතර තවත් පාර්ශ්ව ඊට විරුද්ධ බවයි.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඇති වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීමට පසුගිය කාලයේ බලයට පත් වූ රජයන් ද මෙවැනිම උත්සාහයන් ගෙන තිබිණි.

එහෙත් දේශපාලන පක්‍ෂ අතර පවතින මතභේද හේතුවෙන් කිසිදු නීති සම්පාදනයක් කිරීමට නොහැකි විය.

සමානුපාතික නියෝජනය පුළුල් ලෙස විවේචනයට ලක්වන්නේ මැතිවරණ පැවැත්වීමේ විෂමතා හේතුවෙනි.

මැතිවරණය ආසන්නයේ තිබියදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය තීරණය කළේ මන්දැයි මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රශ්න මතුව තිබේ.