June 19, 2026

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය, ශ්‍රී ලංකා රුපියලේ අගය සුරැකීම, ගෘහස්ථ ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ඉදිරියේදී ඇතිවිය හැකි ගෙවුම් ශේෂ අර්බුද වළක්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය ‍යොමු කරවමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා එමගින් දක්වා ඇත්තේ මධ්‍යකාලීන කාර්තුමය මූලික උද්ධමන ඉලක්කය සියයට 5 ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව නීතිමය වශයෙන් බැඳ තබන ‘මූල්‍ය ප්‍රතිපත්ති රාමු ගිවිසුම’ 2023 ඔක්තෝබර් 5 වැනිදා අත්සන් කරන ලද බව සහ එවකට මුදල් අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඊට අත්සන් තැබූ බවයි.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මෙම උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ සෙසු පරාමිතීන් සෑම වසර තුනකට වරක්ම සමාලෝචනය කළ යුතු බවත්, ඒ අනුව, දැනට පවතින ගිවිසුමේ ව්‍යවස්ථාපිත සමාලෝචන කාලය 2026 ඔක්තෝබර් මාසයට යෙදී ඇති බවත් මන්ත්‍රීවරයා යොමු කළ ලිපියේ අන්තර්ගත වේ.

මෙම සමාලෝචනයේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් උගත් ගැඹුරු පාඩම් සැලකිල්ලට ගෙන, මෙම ක්‍රියාවලිය සඳහා වන සූදානම කල්තියා ආරම්භ කළ යුතු බව එමගින් මන්ත්‍රීවරයා යෝජනා කර ඇති අතර එහි අරමුණ විය යුත්තේ දැනට පවතින උද්ධමන ඉලක්කය රටේ අනාගත සංවර්ධන ගමනට තවදුරටත් ගැළපෙන්නේද යන්න නැවත ඇගයීමකට ලක් කිරීම බව ද ඔහු පවසයි.

මහ බැංකු පනතට අනුව හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ ශ්‍රී ලංකාව සියයට 5 ක මධ්‍යකාලීන උද්ධමන ඉලක්කයක් අනුගමනය කළේය. අතිශය දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ අවිනිශ්චිතතාවයන් පැවති වකවානුවක එවැනි ඉලක්කයක් සුදුසු යැයි සැලකුණද, ස්වෛරී ණය පැහැර හැරීම, මුදල් අස්ථාවරත්වය, ගෙවුම් ශේෂ පීඩනය සහ ගෘහස්ථ ක්‍රය ශක්තිය දැඩි ලෙස කඩා වැටීම වැනි තත්ත්වයන්ගෙන් මිදී යථා තත්ත්වයට පත්වෙමින් පවතින රටකට, මෙම ඉලක්කය තවදුරටත් සුදුසුද යන්න නැවත සලකා බැලීමට දැන් කාලය පැමිණ ඇතැයි තමන් විශ්වාස කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.