January 31, 2026

මෙරට වෙළඳපලේ රත්‍රං මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට වෙළඳපලේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව රට තුළ පවතින බදු ක්‍රමය බවයි.

වැට් සහ අනෙකුත් බදු එකතුව ද ඇතුළුව මෙරටට රන් ආනයනයේදී 47% ක බද්දක් පැනවෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාව සහ සිංගප්පූරුව ඇතුළුව කලාපයේ අනෙක් රටවල් සමග සසඳා බැලිමේදී එය විශාල බදු අගයක් බවයි.

මීට පෙර ඉන්දියාවේ ද රන් ආනයනයේදී වැඩි බදු අය කිරීමක් සිදු කෙරුණ ද ජාවාරම් සහ වෙළඳපල පිළිබඳ සලකා බලා ඉන්දීය රජය එම බද්ද 6% ක් දක්වා අඩු කළ බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එබැවින් අනිසි වියදමක් දැරීමකින් තොරව ගෙවිය හැකි බදු ප්‍රමාණයක් රත්‍රං ආනයනය සඳහා පැනවීමට බලධාරී අවධානය යොමු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.