December 18, 2025

සොභාවික ආපදා තත්වය හමුවේ රට මුහුණ පා සිටින අසීරු තත්ත්වය ඉදිරියේදී මෙරට ණය ගෙවීමේ ක්‍රියාවලියට ද බලපෑ,ම් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2026 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ණය වැඩසටහන අවසන්වීමට නියමිත බැවින් 2027 වසරේ නව වැඩපිළිවෙළ සඳහා ආණ්ඩුව සූදානමින් සිටිය යුතු බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ පරිපූරක අයවැය ඇස්තමේන්තුවක් අවශ්‍ය වන්නේ නම් එය ඉදිරිපත් කළ යුතු වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑම් තක්සේරු කිරීමෙන් අනතුරුව බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

නමුත් තමන් යෝජනා කරන්නේ මෙම වසරට නියමිත වියදම් ඒ ආකාරයෙන් වියදම් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ස්වභාවික ආපදා සඳහා මුහුණදීම වෙනුවෙන් රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුව ද මෙවැනි ආපදාවකදී එවැනි මුදල් ප්‍රමාණයක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

රට මුහුණ පා ඇති ව්‍යවසනයේ පශ්චාත් බලපෑම් මාස කිහිපයක් පුරා පැවතිය හැකි බැවින් ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න තීරණය වන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත බව ද ඔහු පෙන්වා දුන්නේය.