September 5, 2026

රට බංකොලොත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි එකඟතා සහ රට හමුවේ පවතින ණය බර පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ ණය ගිවිසුමට එළඹෙන විට 2026 වර්ෂය වනවිට රට තුළ අමෙරිකානු ඩොලර් බිලියන 9.2 ක විදෙස් සංචිතයක් තිබිය යුතු බවට පුරෝකතනය කළ බවයි.

එම අගය පසුකාලීනව 8.8 ක් දක්වා සංශෝධනය වූ බවත්, එම අගය 2026 වසරේ දෙසැම්බර් මස අගවන විට රටේ විදේශ විනිමය සංචිතය ලෙස තිබිය යුතු බවත් ඔහු පැහැදිළි කළේය.

එමෙන්ම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අගෝස්තු මාසය වනවිට රට තුළ පවතින ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.59 ක් වන බැවින් අපේක්ෂිත ඉල්කකය වෙත ළඟාවීමට නම් වසරේ ඉතිරි මාස කිහිපය තුළ මිලියන 2000 ක් එකතු කර ගැනීම අවශ්‍ය බවයි.

ඒ සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ප්‍රමාණයක් රැස් කළ යුතු බැවින් තමන් ජනමාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් පවසා සිටින්නේ මෙම සැබෑ තත්වය බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පළ කළේ ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් ය.