April 28, 2024

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ් පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

එහෙත් මෙයට පෙර සැලසුම් කර තිබුණේ මැයි මස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහගේ තීන්දුව දැනුම්දීමටය.

පසුගිය අඟහරුවාදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මසහ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් පවත්වා තිබිණි.

එම හමුවෙන් පසුව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ සමඟ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ හමුවක්ද පැවැත්විණි.

මෙම හමුවීම්වලදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව රනිල් වික්‍රමසිංහගේ තීන්දුව ප්‍රකාශ කළ පසුව පොහොට්ටුවේ තීරණය ගනු ලබන බවය.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපතිවරණයට තරග කරන වගය.

අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, හරීන් ප්‍රනාන්දු, කාංචන විජේසේකර, අනුර යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් පිරිසක් රනිල් – බැසිල් හමුවෙන් පසුව පැවති දෙවැනි සාකච්ඡාවේදී නායක දෙපොළ හමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව තීන්දුව කල්දමා ඇත්තේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු රජයෙන් ජනතාවට විවිධ සහන ප්‍රදානය කිරීම ගැටලු සහගත වන බැවින් යැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.(දේශය)