July 14, 2025

තමන්ව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.

රජයට මිලියන 26.2 ක පාඩුවක් සිදු කළ බව කියන වැලි ගොඩදැමීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින රාජිත සේනාරත්න, තමන් මඟහරිමින් සිටින බවට අල්ලස් කොමිසම ඉකුත් සිකුරාදා අධිකරණයට දැනුමදීමෙන් අනතුරුව ඔහු මෙම අපේක්ෂිත ඇප අයදුම්පත් ගොනුකර ඇත.

රාජිත සේනාරත්න දුරකථනය විසන්ධි කර නිවසින් පිටව ගොස් සිතාසි කිහිපයක්ම නොසලකා හැර ඇති බවත්, ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇතත් එය වලංගු නොවන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පවසා තිබේ.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසම වරෙන්තුවක් ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත්වරයා පවසා තිබුණේ එවැන්නක් සඳහා කොමිසම්ට විශේෂ අවසරයක් අවශ්‍ය නැති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය ඇති බව පවසා තිබූ අධිකරණය, ඒ අනුව ක්‍රියාකරන ලෙසට ද එම කොමිසමට උපදෙස් දී ඇත.