October 27, 2026

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන, අශිවත් මරිමුත්තු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ධර්මන්’ චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළි නයනතාරා නිල වශයෙන් එක්වී ඇත.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන Raaj Kamal Films International ආයතනය විසින් මෙම නිවේදය නිකුත් කර තිබේ.

මීට පෙර චන්ද්‍රමුඛී, කුසෙලන්, දර්බාර් සහ අන්නත්ථේ යන ජනප්‍රිය චිත්‍රපටවල රංගනයෙන් එක්වූ රජිනිකාන්ත් සහ නයනතාරා, මෙම සිනමා නිර්මාණය හරහා යළිත් වරක් එකට රංගනයේ නිරත වීම විශේෂත්වයකි.

‘ඕ මයි කඩවුලේ’ සහ ‘ඩ්‍රැගන්’ යන සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අශිවත් මරිමුත්තු මෙහි අධ්‍යක්ෂවරයා වන අතර, ප්‍රවීණ නළු සහ සිනමාකරු කමල් හසන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරයි. මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් අනිරුද් රවිචන්ද්‍ර, කැමරා අධ්‍යක්ෂණයෙන් නිකේත් බොම්මි සහ සංස්කරණයෙන් ප්‍රදීප් ඊ රාඝව් දායක වෙති.

මීට අමතරව, සිම්රන්, රාෂි කන්නා සහ යෝගී බාබු ද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

කෙසේ වෙතත්, නයනතාරාගේ චරිතය සහ චිත්‍රපටයට පාදක වී ඇති කතාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.

මේ අතර, නෙල්සන් දිලීප්කුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් තවත් නව චිත්‍රපටයක් සඳහාද රජිනිකාන්ත් සහ කමල් හසන් ඒකාබද්ධ වීමට නියමිතව ඇත.

අවසාන වශයෙන් ‘හායි’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් හමුවූ නයනතාරා, ඉදිරීයේදී දීපාවලි උත්සව සමයේ තිරගත වීමට නියමිත ‘මූකුති අම්මාන් 2’ චිත්‍රපටය සඳහාද මේ වන විට සූදානම් වෙමින් සිටියි.