July 11, 2026

රයිගම් උඩුගහපත්තුවේ විවිධ සේවා සමූපකාර සමිතිය තුළ දැඩි දේශපාලන මැදිහත්වීම් සිදුවන බවට චෝදනා කරමින්, එහි සභාපතිවරයා සහ උප සභාපතිවරයා සිය ධුරවලින් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

2026 ජූලි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තමන් ධුරයෙන් ඉවත් වන බව සභාපතිවරයා විසින් යොමුකළ නිල ලිපියක සඳහන් වේ. වර්තමානයේ සමිතිය මුහුණ දී ඇති දැඩි දේශපාලන බලපෑම්වලට උප සභාපතිවරයා ද අවස්ථා කිහිපයකදීම සිය දැඩි අප්‍රසාදය සහ විරුද්ධත්වය පළ කර ඇති අතර, මෙම තත්ත්වය මත ඔවුන් දෙදෙනාම එකවර මෙම තීරණයට එළඹ ඇත.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ, 2025 මාර්තු 02 වනදා තමන් ධුරයට පත්වීමෙන් පසු, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු පවා පසෙකලා සමිතියේ උන්නතිය වෙනුවෙන් කැපවූ බවයි. අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරී මණ්ඩලය සමඟ එක්ව මූල්‍ය හා පරිපාලන අර්බුද රැසක් ජයගත් ඔවුන්, රයිගම් උඩුගහපත්තුව සමිතිය කළුතර දිස්ත්‍රික්කයේ පවතින සමිති 10 අතරින් ඉහළම ස්ථානයකට ඔසවා තැබීමට සමත්ව තිබුණි. මෙම සාර්ථකත්වය බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස්වරයාගේ පවා ඇගයීමට ලක්ව තිබූ එකකි.

වත්මන් දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ද දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ. එහිදී සභාපතිවරයා රජයට සහ වගකිවයුත්තන්ට දැඩි අවධාරණයක් කරමින් මෙසේ පවසා ඇත:

“සමිතියකට උපදෙස් හා මඟපෙන්වීම් කළ යුත්තේ සමූපාකාරය පිළිබඳ හසල අත්දැකීම් ඇති, එහි නීති සහ ව්‍යවස්ථා පිළිබඳ අවබෝධයකින් යුක්ත පරිණත පුද්ගලයින් මිස කිසිවක් නොදන්නා හිතවතුන් නොවේ. එවැනි අය ඉදිරියේ රූකඩයක් ලෙස පෙනීසිටිමින් සභාපති ධූරය හෑල්ලුවට ලක්කර ගනිමින් තවදුරටත් මෙහි රැඳීසිටීමට මා තුළ කිසිදු කමැත්තක් නැත.”

මෙම දේශපාලන මර්දනය සහ බලපෑම් හමුවේ තවදුරටත් රාජකාරි කිරීම අභිමානයට හානියක් බැවින් තමන් වහාම ධුරයෙන් ඉවත් වන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.