February 22, 2024

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ‘යුක්තිය මෙහෙයුම’ මගින් සිදුව ඇති හෙරොයින්, අයිස් හෝ ගංජා හිඟය හේතුවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විකල්ප ලෙස ඖෂධ වෙත යොමුවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට මනෝ ක්‍රියාකාරී ඖෂධ අලෙවි කරන ඔසුසැල් ඉලක්ක කර බලධාරීන් ප්‍රධාන මෙහෙයුමක් දියත් කර තිබේ.

‘යුක්තිය මෙහෙයුම’ සමග මතුව ඇති මත්ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සිය දෛනික මාත්‍රාව සපයාගත නොහැකි ඇබ්බැහිවූවන් සඳහා මනෝ ක්‍රියාකාරී ඖෂධ අලෙවිකරන අක්‍රමික ඔසුසැල් රැසක් ඉලක්කකර ගනිමින් පොලිසිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු පසුගිය පැය 48 තුළ බස්නාහිර පළාතේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තම දෛනික මාත්‍රාවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි ඖෂධවලට මාරුවීමේ ගැටලුව විසඳීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පෙබරවාරි 8 වැනිදා පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම රැස්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබිණි.

‘යුක්තිය’ හේතුවෙන් දෛනිකව ගන්නා හෙරොයින්, අයිස් හෝ ගංජා සොයා ගත නොහැකි බැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් රැසක් නිහඬවම ඖෂධවලට මාරුවීමේ ප්‍රවණතාවක් රට තුළ වර්ධනය වෙමින් පවතින බව මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා ඇත්තේ, ‘යුක්තිය’ මගින් දිගින් දිගටම නීතිවිරෝධී මත් ද්‍රව්‍ය හඳුනාගැනීම හේතුවෙන් මේ වනවිට කොළඹ නගරයේ දැඩි මත්කුඩු හිඟයක් පවතින අතර මතට ඇබ්බැහි වූවන් ඖෂධවලට මාරුවීමේ ප්‍රවණතාවක් වර්ධනය වී ඇති බවයි.

ක්‍රියාත්මක කර තිබූ මෙහෙයුමේදී ඊයේ සවස් වනවිට මනෝ ක්‍රියාකාරී ඖෂධ නීතිවිරෝධී ලෙස අලෙවි කළ ඔසුසැල් 24ක් පමණ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ වටළා තිබිණි.

බෙහෙත් වට්ටෝරුවකින් තොරව මනෝ ක්‍රියාකාරී ඖෂධ අලෙවි කරන අක්‍රමික ඔසුසැල් 40කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ ඇති බවට ඔවුන්ගේ බුද්ධි වාර්තා මගින් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

මේ අතර, ඔසුසැල් වැටලීමට සහ පරීක්ෂා කිරීමට පොලිසියට බලයක් නොමැති බැවින්, පොලිසියට පිටුබලය දීමේ විශේෂ මෙහෙයුම සඳහා දිස්ත්‍රික්ක තුනේ සිය නිලධාරීන් යොදවා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

සැකකටයුතු ඔසුසැල් වැටළීමට සහ ඒවායේ ඖෂධවේදීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසියට සහායවීම සඳහා දිස්ත්‍රික්ක තුනේ සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයකින් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් තිදෙනෙකු යොදවා ඇති බව ද එම නිලධාරියා පවසා ඇත.

තුවාල සහිත නිදන්ගත දියවැඩියා රෝගීන් සඳහා සාමාන්‍යයෙන් නියම කරනු ලබන Pregabalin වැනි මනෝ ක්‍රියාකාරී ඖෂධ, ශල්‍යකර්මවලින් පසු ඇති වන දරුණු වේදනාවන් සඳහා දෙන ඖෂධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් මිලදී ගන්නා ලද ඖෂධ බවට හඳුනාගෙන තිබේ.

ගල්කිස්ස පොලිසිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අඟහරුවාදා රාත්‍රියේ රත්මලාන ගාලු පාරේ ඔසුසැලක සිදුකළ ප්‍රධාන වැටලීමකදී ඔසුසලක නොතිබෙන තරම් තොග තිබීම අසාමාන්‍ය වූ එම ඖෂධ පෙති 10,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් 450ක වටිනාකමකින් යුත් ටැබ්ලට් කාඩ්පතක් කිසිදු බෙහෙත් වට්ටෝරුවක් නොවිමසා එම ඖෂධවේදිනිය රුපියල් 750කට අලෙවි කර ඇති අතර එය පැහැදිලිවම නීතිය උල්ලංඝනය කිරීමක් බවද එම නිලධාරියා පෙන්වාදී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරිණි.

වසර දෙකකින් එම ඔසුසැල් බලපත්‍රය පවා අලුත් කර නොමැති බව ද හෙළිවී තිබේ.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පැය 48ක මෙහෙයුම නුදුරේදීම දිවයින පුරා සෙසු පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට නියමිතය.