September 11, 2026

කොළඹ 7, බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් බිලියන 2.5කට වඩා වටිනා ඉඩමක ව්‍යාජ ඔප්පු සකස් කර සිදුකළ බව කියන මහා පරිමාණ ඉඩම් වංචාවකට තමන් සම්බන්ධ බවට නැගෙන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසයි.

‘පාරිශුද්ධ මිනිස්සු’ තේමාව යටතේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු කියා සිටියේ තමන් ඉතා ඉවසීමෙන් මෙම චෝදනා දෙස බලා සිටින බවත්, ඉදිරි අධිකරණ ක්‍රියාවලිය හරහා සත්‍යය විනිවිදව එළියට එනු ඇති බවට තමාට පූර්ණ විශ්වාසයක් ඇති බවයි.

වසර 40කට අධික කාලයක් තිස්සේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය වෙනුවෙන් තමන් මහත් කැපකිරීම් කළ බව සිහිපත් කරන ඔහු, චෝදනා එල්ල කරන පිරිස්වලින් ඉල්ලා සිටින්නේ සාධාරණත්වයේ දේවතාවියගේ නඩු තීන්දුව එනතෙක් බලා සිටින ලෙසයි.

රුපියල් බිලියන 2.5කට වඩා වටිනා පර්චස් 43ක ඉඩමක් රුපියල් බිලියනයකට අලෙවි කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණ පවත්වයි.

මෙම ගනුදෙනුවෙන් ලැබුණු මුදල් පුද්ගලයන් තිදෙනෙකු අතර බෙදී ගොස් ඇති අතර, ඩිලන්ත මාලගමුව මුදල් වෙනුවට සුපිරි පංතියේ සුඛෝපභෝගී රථවාහන 14ක් ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මෙම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ තහවුරු වී නොමැත.

මෙම සිදුවීමට අදාළව ඩිලන්ත මාලගමුව ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ප්‍රතික්ෂේප කර තිබේ.

ගමන් තහනම් ඉල්ලීමට ප්‍රථම අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පරීක්ෂකයන්ට නියෝග කළේය.

තමන් මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නැති බවත්, අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට යන අතරතුර අටලෝ දහමින් කම්පා නොවී සිටීමට බෞද්ධ ධර්මානුකූලව කටයුතු කරන බවත් ඩිලන්ත මාලගමුව වැඩිදුරටත් සඳහන් කළේය.