August 25, 2023

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ගුවන් යානා අනතුරින් මියගිය යෙව්ගනි ප්‍රිගොෂින්ගේ පවුල වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදාවට එරෙහි කැරැල්ලකට නායකත්වය දී මාස දෙකකට පසු වැග්නර් කුලී හේවා නායකයා හදිසි අනතුරකින් මරණයට පත්වීම මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩුදී ඇති අතර, මරණය සම්බන්ධ චෝදනාවක් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙතද එල්ලවී තිබේ.

ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියානු විමර්ශකයින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත්, බදාදා සවස මොස්කව්හි වයඹ දෙසින් පිහිටි අහසින් යානය හදිසියේම කඩා වැටීමට හේතුව කුමක්දැයි ඔවුන් තවමත් ප්‍රකාශ කර නොමැත.

එමෙන්ම සුන්බුන් අතරින් ගොඩගත් සිරුරු 10 කගේ අනන්‍යතාව ඔවුන් නිල වශයෙන් තහවුරු කර නොමැත.

එක්සත් ජනපද නිලධාරීන් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ, ගුවනට විදින ලද මිසයිලයක් ඔස්සේ යානය බිම හෙළන ලද බව පිළිබඳව මෙන්ම තවත් සක සහිත හේතු ගණනාවක් පිළිබඳව සලකා බලමින් සිටින බවයි.