July 22, 2026

රටේ ආර්ථික ගමනට කුමන හෝ ප්‍රශ්නයක් ඇති වී තිබේනම් එහි පසුබිමෙන් මහ බැංකුව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

වර්තමානයේ මෙරට ආර්ථික අර්බුදය තුළ මහ බැංකුවට නිර්මාණශීලී වැඩපිළිවෙළක් තිබුණේ නම් රටට මෙන්ම ජනතාවට ද එය සුබදායී බව මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ උද්ධමන වේගය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.

”මම ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ උද්ධමනය ගිය වතාවේ රනිල් වික්‍රමසිංහ අත්සන් කරන කොට සියයට 5 ක උද්ධමන වේගයක් තිබිය යුතුයි කියන ඒ ගිවිසුම මහ බැංකුවත් එක්ක අත්සන් කළා. මේක 2026 ඔක්තෝම්බර් මාසෙ වෙනකොට අවසන් වෙනවා. මං ඒ අවස්ථාවේදී කිව්වේ සියයට 5 ක් මේවගේ රටකට ඒක දරා ගන්න බැහැ. ඒක නිසා ඒක වැරදි ක්‍රියාවක්. කරුණාකරලා දැන් නිවැරදි කරන්න තියෙන හොඳම අවස්ථාව සියයට 2 කට අඩු කළ යුතුයි කියන එක. සියයට 2 කට අඩු කරනවා කියන්නේ එතකොට මේකෙ මූල්‍ය වටිනාකම අවුරුද්දකට සියයට 2 ත් 4 ත් අතර ප්‍රමාණයකින් අඩුවෙනවා කියන මතයේ තමයි එතකොට ඉදිරියට කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් සියයට 3 කුත් 7 කුත් අතර ප්‍රමාණයකින් අඩුවෙනවා කියන උපකල්පනය තුළින් තමයි ගමන් කරන්නේ. ඉතිං මම ඉතාමත් ඕනෑකමින් ජනාධිපති අනුර දිසානායකගෙන් මෙවර ගිවිසුම අත්සන් කරන කොට කරුණාකරලා සියයට 2 ට විතර තියෙන ඉලක්කය මහ බැංකුව එක්ක ගිවිසුම් ගත කරන්න කියන එක ඉල්ලා සිටිනවා. මේකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. නමුත් මහ බැංකුව කියනවා ”ඇයි මේක සියයට 2 ට අඩු කරන්නේ” කියලා. මේක එයාලාගේ කාර්යයක් නෙමෙයි. එයාලට සියයට 2 ක් කිව්වොත් ඒක තමයි එයාලා අනුගමනය කරන්න අවශ්‍ය වන්නේ.”