November 29, 2025

හෙට (30) වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ‘දිත්වා’ සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වැනනිදා වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.