September 13, 2026

ශ්‍රී ලංකා­වෙන් පළා­ගොස් ඉන්දි­යාවේ සැඟවී සිටි­යදී එරට ආර­ක්ෂක අංශ මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 10 දෙනකු මෙර­ටට භාරදීමට අවශ්‍ය කට­යුතු කරන ලෙසත්, ඉන්දීය ධීව­ර­යන් මෙරට මුහුදු තීර­යට ඇතුළු වීම සහ මෙරට සමුද්‍ර සම්ප­ත්ව­ලට හානි කරන තහ­නම් පන්න ක්‍රම භාවි­තය නැවැ­ත්වී­මට කට­යුතු කරන ලෙසත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ඉන්දීය ආර­ක්ෂක ඇමැති ශ්‍රී රාජ්නාත් සිංගෙන් විශේෂ ඉල්ලී­මක් කර ඇති බව රජයේ ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව ඉන්දීය ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා මෙරට සිදු කළ තෙදින නිල සංචා­රය අත­ර­තුර ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවති සාක­ච්ඡා­වේදී මේ ඉල්ලීම් සිදුකර තිබේ.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පෙන්වා දී ඇත්තේ උතුරේ යුද්ධය අව­සන් වූ පසුව විශාල ජන­තා­ව­කගේ ප්‍රධාන ජීව­නෝ­පාය වන ධීවර කර්මා­න්තය මේ නිසා බර­ප­තළ තර්ජ­න­ය­කට ලක් වී ඇති බවයි.

විශේ­ෂ­යෙන්ම ඉන්දීය ධීව­ර­යන් භාවිත කරන ඉන්දි­යාවේ පවා තහ­නම් කර ඇති බොටම් ට්‍රෝලින් වැනි හානි­කර මසුන් ඇල්ලීමේ ක්‍රම නිසා මෙරට සමුද්‍ර සම්ප­ත්ව­ලට සහ ජෛව විවි­ධ­ත්ව­යට දැඩි බල­පෑම් ඇති වන බව පෙන්වා දී ඇති ජනා­ධි­ප­ති­ව­රයා, මෙම ගැට­ලුව විස­ඳී­මට මැදි­හත් වන ලෙස ඉල්ලා ඇත.