May 3, 2025

ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් සේවා සපයන්නන් මෙන් නොව, තීරණාත්මක දත්ත වෙත ප්‍රවේශ වීමට රජයට ඇති නොහැකියාව පිළිබඳ අවධානය යොමුකරමින්, එක්සත් ජනපද බිලියනපති එලෝන් මස්ක්ට අයත් ස්ටාර්ලින්ක් සමාගම සමඟ ඇති මූලික ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු මතුකර තිබේ.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ය.

අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව එහිදී ජනාධිපතිවරයාගෙන් විමසුවේය.

එහිදී ඔහු සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රදේශය තුළ මතුවූ ආරක්ෂක තර්ජනය සහ පසුගියදා අධිකරණයක් තුලදී වෙඩිතැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ වැළැක්වීම සඳහා ටෙලිකොම් දත්ත වෙත ප්‍රවේශය ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බවයි.

“අපිට ටෙලිකොම් දත්තවලට ප්‍රවේශය තිබූ නිසා අපට වේගයෙන් ක්‍රියාකළ හැකිවුණා” ජනාධිපතිවරයා පැවැසීය.

එහෙත් Starlink ගිවිසුම රජයට එවැනි සමාන ප්‍රවේශයක් ලබානොදෙන බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

“Starlink හි දත්ත පද්ධතියට ප්‍රවේශවීමට අපට බලයක් නැහැ. ඒ වගේම ඒ සඳහා දේශීය සම්බන්ධකයෙක් ද නැහැ” ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව සඳහා දත්ත වෙත ප්‍රවේශය අත්‍යවශ්‍ය වන අතර, එය මුල් ගිවිසුමට ඇතුළත් කළ යුතුව තිබූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවැසුවේය.

එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ, රැස්වීම් කිහිපයකදීම ජාතික ආරක්‍ෂක කවුන්සිලය ද එවැනි ගිවිසුම් මගින් ජාතික ආරක්‍ෂාවට එල්ල වන අවදානම් මතුකර පෙන්වූ බවයි.