August 3, 2024

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂ නායකයන් හමුවී තිබේ.

ඊයේ (02) පස්වරුවේ ජනාධිපතිවරයා යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

අනතුරුව ජනාධිපතිවරයා යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබේ.

‘බෞද්ධ හින්දු ආගමික සංසදය’ වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගෙන ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා ද හමු වී ආශිර්වාද ලබාගෙන තිබේ.

පසුව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසම් පියතුමා බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.