September 6, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව පසුගිය සිකුරාදා විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවද, ඔහු ඊට පෙරම රටින් පිටව ගොස් ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය සිකුරාදා ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.

2015 වසරේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරේසේනගේ ජන රැළියක් අතරතුර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව රත්නපුර මහාධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන අයට මරණ දඬුවම නියම කෙරිණි.

කෙසේවෙතත් පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී.

එලෙස නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව සිද්ධියෙන් මියගිය ශාන්ත දොඩංගොඩගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අධිකරණ නියෝගයට අනුව විදේශ ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව උත්සාහ කළ අවස්ථාවේදී, ප්‍රේමලාල් ජයසේකර අගෝස්තු 31 වනදාම තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇත.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචනය විභාගයට ගන්නා ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කළ ඉල්ලීමකට අනුව විදේශ ගමන් තහනම පනවන ලැබූ අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනීසිටියේය.