May 22, 2023

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. සමස්ත රටට මෙන්ම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ආශිර්වාද පතමින් සර්ව ආගමික නායකයන් රැසකගේ සහභාගිත්වය මෙහිදී විශේෂයෙන් කැපීපෙනුණු සිදුවීමක් විය. “සීමා බිඳලන අසීමිත හැකියාවන් උදෙසා” යන තේමාව යටතේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පරිවර්තනීය බලපෑම සංකේතවත් කරමින් වරාය නගර අලෙවි මධ්‍යස්ථානයේ සමරු ඵලකයකයක් විවෘත කිරීමද මෙහිදී සිදුකෙරිණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන්, තානාපතිවරුන් සහ ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ආරාධනයෙන්, මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගේ කැපී පෙනෙන සහයෝගීතාව සහ නොසැලෙන කැපවීම පිළිබඳවද පැමිණ සිටි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයෝ අවධාරණය කළහ.

කොළඹ වරාය නගරයේ මීළඟ අදියර වන ඉදිකිරීම් අදියර ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ඩොලර් බිලියන 14කට අධික ආයෝජනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අදියරේ ප්‍රතිඵලයක් ලෙස දේශීය වශයෙන් ලබා ගන්නා ශ්‍රමය සහ අමුද්‍රව්‍යවලින් දළ වශයෙන් ඩොලර් බිලියන 4.1ක පමණ ලැබෙනු ඇතිබව විශ්වාස කෙරේ. එලෙසම රැකියා අවස්ථා 450,000කට අධික සංඛ්‍යාවක් උත්පාදනය කරනු ඇති අතර ඉන් 400,000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන් සඳහා වනු ඇත. ඉදිකිරීම් අදියරෙන් පමණක් දළ දේශීය නිෂ්පාදිතයට ඇස්තමේන්තුගත දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියන 24 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.