March 30, 2026

දෙවියන් වහන්සේ යුද්ධය යුක්ති සහගත කරන බවට වන ප්‍රකාශ XIV වැනි ලියෝ පාප්තුමා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි දස දහස් ගණනක් අමතමින් පාප් වහන්සේ අවධාරණය කළේ, කිසිදු ආකාරයක යුද්ධයක් නීත්‍යනුකූල කිරීමට ජේසුස් වහන්සේ යොදා නොගත යුතු බවයි.

“සහෝදර සහෝදරියනි, මේ අපගේ දෙවියන් වහන්සේය. ජේසුස් වහන්සේ, සාමයේ රජ, යුද්ධය ප්‍රතික්ෂේප කරන, කිසිවකුට යුද්ධය සාධාරණීකරණය කිරීමට ඔහුව භාවිත කළ නොහැක,” යනුවෙන් ලියෝ පාප් වහන්සේ පැවසීය.

“ඔහු යුද්ධ කරන අයගේ යාච්ඤාවලට සවන් නොදේ, ඒවා ප්‍රතික්ෂේප කරමින්, ‘ඔබ බොහෝ යාච්ඤා කළත්, මම සවන් නොදෙමි: ඔබේ දෑත් ලේ වලින් පිරී ඇත'” යනුවෙන් බයිබල් ඡේදයක් උපුටා දක්වමින් තවදුරටත් පැවසීය.

එක්සත් ජනපදයේ උපන් පළමු පාප් වහන්සේ කිසිදු ලෝක නායකයකු තෝරා නොගත් නමුත් මෑත සතිවලදී, ඉරානයේ පවතින යුද්ධය පිළිබඳ ඔහුගේ විවේචන තියුණු කර ඇත.

දිව්‍ය පූජාව අවසානයේ කළ අභියාචනයකදී, ලියෝ පාප් වහන්සේ පැවසුවේ කුරිරු ගැටුමක ප්‍රතිවිපාකවලින් පීඩා විඳින මැද පෙරදිග කිතුනුවන් වෙනුවෙන් තමා යාච්ඤා කරන බවයි.

වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පාප් වහන්සේ නැවත නැවතත් ඉල්ලා ඇත.

හමුදා ගුවන් ප්‍රහාර පාප් වහන්සේ අවිචාරවත් ලෙස හෙළා දුටු අතර එවැනි ප්‍රහාර තහනම් කළ යුතු බව පැවසීය.

“ගුවන් යානා සැමවිටම සාමයේ වාහකයන් විය යුතුය, කිසි විටෙකත් යුද්ධයේ නොවේ. මරණ හා විනාශයේ තර්ජන අහසින් පැමිණිය හැකි යැයි කිසිවකු බිය විය යුතු නැත,” යනුවන් ලියෝ පාප් වහන්සේ පැවසුවේ ඉරානයේ යුද්ධය ගැන විශේෂයෙන් සඳහන් නොකරමිනි.

පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර ආරක්ෂා කිරීම සඳහා ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් ක්‍රිස්තියානි ප්‍රකාශ භාවිත කර ඇත.

බදාදා පෙන්ටගනයේ පැවති ආගමික මෙහෙයක් අතරතුර, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ‘දයාව නොලැබිය යුතු අයට එරෙහිව ක්‍රියා කිරීමේ අතිමහත් ප්‍රචණ්ඩත්වය’ සඳහා යාච්ඤා කර තිබිණි.