September 30, 2026

ශරීර පැළඳි කැමරා (Body worn cameras) මිලදී ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ටෙන්ඩර් ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති අතර, ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ විසින් කරන ලද චෝදනා පදනම් විරහිත සහ තහවුරු නොකළ ඒවා බව සඳහන් කරයි.

ජනමාධ්‍ය ප්‍රකාශයකින් අනතුරුව, පොලිස් සැපයුම් දිශාභාරයේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇත. එම වාර්තාවට අනුව, වත්මන් මෙහෙයුම් අවශ්‍යතා සපිරීම සඳහා ශරීර පැළඳි කැමරා 500 ක් සහ ඩොකින් ස්ටේෂන් (Docking stations) 70 ක් මිලදී ගැනීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, ගණකාධිකාරීවරයකු සහ ගැසට් කරන ලද නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඒකමතිකව නිර්දේශ කර තිබේ.

පාරදෘශ්‍යභාවය සහ සාධාරණ තරගකාරීත්වය පවත්වාගැනීම සඳහා මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා විධිවිධාන සහ ස්ථාපිත නීතිමය පටිපාටීන්ට අනුකූලව දැඩි ලෙස සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

මිලදී ගැනීමේ සහ බදු පදනම මත ලබාගැනීමේ විකල්පයන් දෙකම සලකා බැලූ ලංසු ඇගැයීම් කමිටුවක් විසින් පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව අදාළ තාක්ෂණික පිරිවිතරයන් සහ කොන්දේසි කෙටුම්පත් කර ඇත.

තරගකාරී සැපයුම්කරුවන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇති අතර, සහභාගී වන සියලුම සමාගම් වෙත ලිඛිත දැනුම්දීම් ලබාදෙමින් ලංසු විවෘත කිරීමේ අවසාන දින කිහිප වතාවක්ම දීර්ඝ කර ඇති බවත්, කිසිදු ලංසුකරුවකුට විශේෂ වාසියක් සැලසීම සඳහා කාල රාමුව වෙනස්නොකළ බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

ඇගැයීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බැවින් කිසිදු ලංසුකරුවකු තෝරාගෙන හෝ කොන්ත්‍රාත්තුව පිරිනමා නොමැති බව අවධාරණය කළ පොලිසිය, මෙම ක්‍රියාවලිය අභියෝගයට ලක්කිරීමට කැමති ඕනෑම අයකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවද සඳහන් කරයි.