August 29, 2026

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් සිටි තරුණියක මෝටර් රථයකින් පැහැරගෙන යෑමට කළ උත්සාහයක් පොලිසිය විසින් අද (29) ව්‍යර්ථ කර තිබේ.

පොලිස් තොරතුරු අනුව, තරුණියගේ පියා විසින් ඇය පැහැරගෙන යන බවට නාරාහේන්පිට පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ සැකකටයුතු මෝටර් රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබුණද, රියදුරු පොලිස් අණ නොතකා රථය ධාවනය කර තිබේ.

නාරාහේන්පිට–නාවල මාර්ගයේදී ද රථය නතර කරන ලෙස පොලිසිය කළ දැනුම්දීම නොතකා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් එම මෝටර් රථයට වෙඩි තැබීමට පොලීසිය පියවර ගෙන ඇත.

එම අවස්ථාවේදී රියදුරු මෝටර් රථය අතහැර පළාගොස් ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සොයාගෙන තිබේ.

ඇය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් සිටියදී පැහැරගැනීමට ලක්වූ තැනැත්තිය බවට හඳුනාගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තරුණියගේ පෙම්වතා බවයි. දෙදෙනාම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා පැමිණ සිටියදී මෙම සිද්ධිය සිදුව ඇත.

ඇය එම උත්සවයට පැමිණෙන බව සිය පෙම්වතාට දැනුම් දී නොතිබූ බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.

පැහැරගැනීම සඳහා යොදාගත් මෝටර් රථය සැකකරුට අයත් එකක් වන අතර, එය තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් තිබූ බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සිද්ධියෙන් අනතුරුව තරුණිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, මෝටර් රථය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

පළාගිය සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සම්බන්ධ චෝදනාවලට ලක්වූ පුද්ගලයකු බවටද පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.