May 24, 2026

හයිටි රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා 900 කට ආසන්න සෙබළුන් පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් පසු, ඒ සඳහා සුදුසු පොලිස් සහ හමුදා නිලධාරීන් තේරීමේ මූලික පසුබිම් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් සහ අන්තර් අමාත්‍යාංශ කමිටුවක මැදිහත්වීමෙන් අනතුරුව, මෙම මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සුදුසු අපේක්ෂකයන් තෝරාගෙන මෙම මාසය අවසන් වීමට පෙර ඔවුන්ව හයිටි රාජ්‍යය බලා පිටත් කර හැරීමට කටයුතු සූදානම් කෙරේ.

මෙලෙස සිදුකරනු ලබන පසුබිම් පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ, සාමසාධක රාජකාරි සඳහා තෝරාගන්නා පුද්ගලයන්ට එරෙහිව කිසිදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හෝ වෙනත් කිසිදු සාපරාධී චෝදනාවක් එල්ල වී නොමැති බව තහවුරු කර ගැනීම යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට මෙලෙස සාම සාධක බලකායන් විදේශගත කිරීමට අවස්ථාවක් හිමිවන්නේ වසර 10 කට අධික කාලයකට පසුවය.

වසර 11 කට ආසන්න කාලයක් හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමට (MINUSTAH) දායක වූ ශ්‍රී ලංකාව, 2015 වසරේදී එරෙහි තම මෙහෙයුම් කටයුතු අවසන් කරන ලදී.

සමස්තයක් ලෙස, 2004 සහ 2015 කාලය තුළ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 16,000 කට අධික පිරිසක් හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා සේවය කර ඇත.

එම මෙහෙයුම් කාලසීමාව තුළදී හයිටි රාජ්‍යයේදී ශ්‍රී ලාංකික සෙබළුන් හයදෙනකුට ජීවිත අහිමි වූ අතර, තවත් 18 දෙනකු තුවාල ලබා තිබේ.