August 19, 2026

කුලී රථ සේවා ලබාගන්නා මගීන්, රථයේ සහ රියදුරාගේ තොරතුරු තහවුරු කරගැනීම මෙන්ම තමන් ගමන් කරන සජීවී ස්ථානය (Live Location) විශ්වාසවන්ත අයකු සමඟ හුවමාරු කරගැනීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටියි. ඒ, සොරකම්, කොල්ලකෑම් සහ තර්ජනය කිරීම්වලින් ආරක්ෂා වීම සඳහා ය.

කුලී රථ රියදුරන් හෝ කුලී රථ සේවා හරහා මගීන්ට උපකාර කරන පුද්ගලයන් සම්බන්ධ බවට චෝදනා එල්ල වන අපරාධ පිළිබඳ වාර්තා වීමත් සමඟ මෙම උපදෙස් මාලාව නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පැවසීය.

ගමන ආරම්භ කිරීමට පෙර තමන් ලබාගන්නා වාහනය නිසි ලෙස ලියාපදිංචි වූ එකක්ද යන්න තහවුරු කරගන්නා ලෙසත්, එහි ලියාපදිංචි අංකය, වාහන මාදිලිය සහ රියදුරාගේ නම පරීක්ෂා කරගන්නා ලෙසත් ඔහු මගීන්ගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්, රියදුරකු තමන්ව නොදන්නා, පාළු හෝ නොසිතූ මාර්ග ඔස්සේ ගෙන යාමට උත්සාහ කරන්නේ නම් වඩාත් පරීක්ෂාකාරී වන ලෙස ද උපදෙස් දී ඇත.

තමන් ගමනාන්තයට ළඟා වන තෙක් එම ස්ථානය පිළිබඳව යමකු දැනුවත්ව සිටින බව තහවුරු කරගනිමින්, ජංගම දුරකථන හෝ Google Maps හරහා තමන්ගේ Live Location එක පවුලේ අයකු, මිතුරකු හෝ වෙනත් විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ හුවමාරු කරගන්නා ලෙසට මාධ්‍ය ප්‍රකාශකවරයා මගීන් උනන්දු කළේය.

එමෙන්ම, ගමන අතරතුර නොදන්නා පුද්ගලයන් ලබාදෙන ආහාර, බීම වර්ග හෝ ජලය ලබාගැනීමෙන් වළකින ලෙස ද ඔහු මගීන්ට අවධාරණය කළේය. ආහාර හෝ බීම ලබාදීමෙන් පසු මගීන් සිහිසුන් වූ බවට වාර්තා වූ සිදුවීම් පොලිසියට ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

කුලී රථවල ගමන් ගන්නා අතරතුර මුදල්, ලැප්ටොප්, ජංගම දුරකථන සහ රන් ආභරණ වැනි වටිනා දේවල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද මගීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ගමන අතරතුර යම් සැකකටයුතු අවස්ථාවකට මුහුණදෙන හෝ තර්ජනයක් ඇතිවන ඕනෑම අයෙකුට වහාම 1119 පොලිස් හදිසි ඇමතුම් සේවාවට හෝ 118 හදිසි තොරතුරු සේවාවට අමතා වාහනයේ සහ සිදුවීමේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

මෙම ආරක්ෂිත මාර්ගෝපදේශ කුලී රථ රියදුරන්ට ද අදාළ වන බව මතක් කරදුන් පොලිසිය, මගීන් ප්‍රවාහනය කිරීමේදී නිසි ලෙස හැසිරෙන ලෙස ද රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.