August 14, 2025

අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ වෙත් ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත්කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස ඉදිරිපත් කරන ලදී.

කොමිසමට අනුව, ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ අධීක්ෂණය කළ කාලය තුළ, සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් සහ අනෙකුත් වැරදිකරුවන් ඇතුළු පොලිස් සේවාවන් අවශ්‍ය පුද්ගලයන්ගෙන් අල්ලස් ලබාගෙන ඇත.

නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අල්ලස් ලබාගෙන ඇති බවත්, මාස අටක කාලයක් තුළ ඔහු රුපියල් මිලියන 14 කට වඩා රැස්කර ඇති බවත් තවදුරටත් අනාවරණය විය.

“ගරු විනිසුරුතුමියනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී, ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දුලාජ් තරංග අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. එම අවස්ථාවේදී, ඔහුගේ WhatsApp ගිණුම පරීක්ෂා කරන ලද අතර, පණිවිඩ තුනක් සොයාගෙන තිබෙනවා. මෙම පණිවිඩවල අනුර නානායක්කාර නම් පුද්ගලයෙක්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ තොරතුරු සොයාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රශ්න කිරීම සඳහා අනුර නානායක්කාරව CID වෙත කැඳවනවා. විමර්ශනයේදී, ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ, අදාළ බැංකු ගිණුම් ඔහුගේ නොවන බවත්,ඒවා මූල්‍ය වංචාවලට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුට අයත් බවත්ය. ගරු විනිසුරුතුමියනි, මෙම වංචනික ක්‍රියාකාරකම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ඒ ආකාරයෙන්. ඒ අනුව, සැකකරු ඔහුගේ නිල රාජකාරි ස්ථානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.” අල්ලස් කොමිසමේ නීති කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ තුසිත ජයනෙත්නි පැවසීය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි සහකාර නීති කටයුතු අධ්‍යක්ෂ තුසිත ජයනෙත්නි අධිකරණයේදී වැඩිදුරටත් කියාසිටියේ, ඉහළපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු, විමර්ශනයට ලක්වන සැකසහිත මෙම බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කර ඇති බවට තවදුරටත් හෙළිවී ඇති බවයි.

“සැකකරුගේ ආරක්ෂක නිලධාරියා සැකසහිත බැංකු ගිණුම්වලට අවස්ථා 100කට අධික සංඛ්‍යාවකදී මුදල් තැන්පත් කර තිබෙනවා. ඊට අමතරව, සැකකරුගේ රියදුරු එම ගිණුම්වලට තැන්පතු 50කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, එහි මුළු මුදල රුපියල් මිලියන 14කට වඩා වැඩියි. ඒ වගේම, දැනට විදේශගතව සිටින ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ද අවස්ථා තුනකදී මුදල් තැන්පත් කර තිබෙනවා. තවත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අමිල පරණවිතාන ද මෙම ගිණුම්වලට මුදල් මාරුකර තිබෙනවා” යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීති කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ තුසිත ජයනෙත්නි සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම්දුන්නේ සැකකරු සාක්ෂිකරුවන්ටද බලපෑම් කිරීමට උත්සාහ කර ඇති බවයි.

එබැවින්, විමර්ශනය අවසන් වන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොමිසම ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි විත්තියේ නීතිඥවරයා සුදුසු කොන්දේසි යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේම ඉදිරිපත් කිරීම් සලකාබැලීමෙන් පසු, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

“සැකකරුගේ තරාතිරම කුමක් වුවත්, විමර්ශනය තවමත් සිදුවෙමින් පවතින අතර, සාක්ෂිකරුවන්ට මැදිහත් වීමේ හැකියාවක් පවතී. එබැවින්, සැකකරු අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මම නියෝග කරමි.”