March 24, 2026

මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

එහිදී නායකයන් දෙපළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළහ.

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වූ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් X හි තැබූ සටහනක සඳහන් කළේ ”ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මෝදි සමඟ කතා කළා. ඔවුන් මැදපෙරදිග වත්මන් තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළා.” යනුවෙනි.

මැද පෙරදිග කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙම සාකච්ඡාව සිදු වූ අතර, මෙම නොසන්සුන්තාව හමුවේ ලෝකයේ වැදගත්ම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා පැමිණීමෙන් ගෝලීය තෙල් සැපයුමට සහ බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය, ජාත්‍යන්තර වෙළඳාමේ අතිශය තීරණාත්මක මෙන්ම සංවේදී මංසන්ධියක් ලෙස තවදුරටත් පවතින බව මෙම ප්‍රකාශයෙන් අවධාරණය කෙරේ.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය X ගිණුමේ මෙසේ සටහන් කර ඇත:
“ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින තත්ත්වය පිළිබඳව අපි ඉතා වැදගත් අදහස් හුවමාරුවක නිරත වුණා. ගැටුම් සමනය කිරීමට සහ හැකි ඉක්මනින් සාමය ස්ථාපිත කිරීමට ඉන්දියාව සහයෝගය දක්වනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව, ආරක්ෂිතව සහ ප්‍රවේශ විය හැකි පරිදි පවත්වාගෙන යාම මුළු ලෝකයටම අත්‍යවශ්‍ය කරුණක්. සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් අඛණ්ඩව සම්බන්ධීකරණයෙන් පසුවීමට අප දෙපළම එකඟ වුණා.”