August 4, 2024

ජනාධිපතිවරණය අවසන් වී කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා එය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස මුලින් ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකින් අභියෝගයට ලක්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අනුමැතිය දී තිබිණි.

පැවති මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මග පාදමින් සරල බහුතරයකින් නීතියක් ලෙස බලාත්මක කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ සහය ඇතිව අගෝස්තු 6 වැනිදා දෙවැනිවර කියවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සිකුරාදා තීරණය කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වීමෙන් පසු සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා කඩිනමින් පැවතිය යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු එකඟ වූ බවත්, ජනාධිපතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජය එකඟ වූ බවත්ය.

එම පනත දිනක් ඇතුළත සම්මත කළ හැකි බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සුමන්තිරන් මහතා මීට පෙර 2019 වසරේ දී ද මෙමෙ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

එය පසුගිය වසරේ මාර්තු 23 වැනිදා ඉදිරිපත් කරනු ලැබුවේ තුන්වැනි වරටයි.

මෙම පනත් කෙටුම්පත බලාත්මක වුවහොත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන් 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ පනත අවලංගු කර, තවදුරටත් ප්‍රමාදයකින් තොරව මැතිවරණය පැවැත්වීම සඳහා පෙර පැවති මැතිවරණ ක්‍රමයට ආපසු යෑමට හැකිය.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සමග රැස්වීමේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළුව, පක්ෂය රජය සමඟ සාකච්ඡා කර ඇති තීරණාත්මක කරුණු කිහිපයක් ද සාකච්ඡා කර තිබේ.