May 5, 2025

පසුගිය දා කොටහේන ප්‍රදේශයේ සියදිවි නසාගත් පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණ වී තිබේ.

ඒ අනුව, මියගිය සිසුවියගේ මව්පියන් හෙළිකර ඇත්තේ, සිය දියණිය මීට පෙර අධ්‍යාපනය ලැබූ පාසලේදී සිදුවූ ලිංගික අපයෝජන සිද්ධියක් මුල් කරගනිමින් තම දරුවාව කොන්කර නින්දාවට පත්කිරීම ඇයගේ සියදිවි නසාගැනීමේ තීරණයට හේතුව බවයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් දැරියගේ මව කියා සිටියේ, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි මෙම දැරිය, කළින් අධ්‍යාපනය ලැබූ පාසලේ ගුරුවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි.

“මගේ දුව අසත්‍ය ප්‍රකාශ කරන බව සිතා මම ඇයව වෛද්‍යවරයකු වෙත ගෙනගියා. ඇය ලිංගික අතවරයකට ලක් වූ බව වෛද්‍යවරයා තහවුරු කළා. පසුව වෛද්‍යවරයා පොලිසියට දන්වා සැකකරු අත්අඩංගුවට ගත්තත් ඔහුට ඇප ලබාදුන්නා. ඔවුන් අපෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. නමුත් අපි දන්නේ එපමණයි. නමුත් මම මගේ දරුවා ආරක්ෂා කිරීමට ඕන වුන නිසා මම ඒ ගැන සොයාබැලුවේ නැහැ.” මව පැවසුවාය.

අනතුරුව දියණිය කොටහේන ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇතුළත් කළ බවත්, එහිදී ගුරුවරුන් විසින් ඇයව හොඳින් රැකබලා ගත් බවත් මව හෙළිකළාය.

කෙසේවෙතත් පසුගිය දිනක පෞද්ගලික උපකාරක පන්තියකදී ගුරුවරයකු සෙසු සිසුන් ඉදිරියේ දැරියට ප්‍රසිද්ධියේ අවමන් කර සිද්ධියේ තොරතුරු හෙළිකරමින් ඇය පොලිස් නඩුවකට සම්බන්ධ බව පවසමින්, පන්තිවලට නොඑන ලෙස පැවසීම දියණියට මානසිකව බලපෑ බව මව පවසයි.

“මගේ දරුවාට කොහේවත් යන්න බැරි තත්ත්වයට පත්කළා. මේ සිද්ධිය ගැන හැමෝම ඇගෙන් ප්‍රශ්න කළා. ඇයව නරක විදියට පෙන්නලා තොරතුරු ප්‍රචාරය කළා. පෞද්ගලික උපකාරක ආයතනයේ සිදුවුණු සිද්ධියෙන් පස්සේ තමයි විස්තර එළියට ආවේ. ආයතනයේ නිලධාරියා බොරු ප්‍රකාශ කරලා තමන්ට නින්දා කළා කියලා දුව මට කියමින් ඇඬුවා.” මව පැවසුවාය.

එමෙන්ම ඇය පෙන්වාදුන්නේ තම දියණියගේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ගුරුවරයාට ඇප ලබා දී ඇති අතර, දැරියගේ පැරණි පාසලේ ඔහු දිගටම ඉගැන්වීමේ කටයුතු කරන බවයි.

පොලිසියේ නඩුව පිළිබඳව පසු විපරම් කර නොමැති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් තමන් සම්බන්ධ කර නොගත් බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.

මෙම ජනමාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අදහස් පළකළේය.

ඔහු පෙන්වාදුන්නේ කිසියම් සිදුවීමක් සිදුවුවහොත් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී විමර්ශනය කිරීම අනිවාර්ය වන නමුත්, මෙම අවස්ථාවේ දී එය සිදුකිරීමට අමාත්‍යාංශය අපොහොසත් වූ බවයි.

“සිද්ධිය වෙලා තියෙන්නේ රජයේ පාසලක. දෙමළ කතාකරන නිලධාරීන් ඉන්නවා. රජයේ පාසල් කීපයකම ළමයින්ගේ පැමිණිලි වාර්තා වුණත් මේවා විභාග කරන්නේ නැහැ. ඒ අය කරන්නේ නැහැ. දරුවකුගේ ජීවිතය නැතිවෙනකම් බලාගෙන ඉන්නවා,” ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් කාලෝචිත පියවර ගෙන පොලිසිය සමඟ එක්ව සිදුවීම විමර්ශනය කළේ නම් මෙම ශිෂ්‍යාවගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව ජෝසප් ස්ටාලින් පෙන්වාදුන්නේය.

දරුවාට සහ ඇගේ පවුලට යුක්තිය ඉටුවිය යුතු බව අවධාරණය කරමින් ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බව ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පැවැසීය.