May 15, 2026

බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමතන හිමියන් එළැඹෙන 22 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (15) නියෝග කළේය.

මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය දුෂණය කිරීමට චේතාන්විතවම මුදලට ලබාදුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් දිසානායක(ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී) අධිකරයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (15) යළි කැදවු අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවයි.

ඒ අනුව, අදාල විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බවද අධිකරණයට කියා සිටි නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා සිටියේය.

කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ තම සේවාදායකයා වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන්නැයිද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.

සියලු පාර්ශ්වවල කරුණු සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මෙම නඩුව එළැඹෙන 22 වැනිදා කැඳවීමට තීන්දු කරමින් පල්ලේගම හේමරතන හිමියන් එදිනට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබීය.

වින්දිත බාලවයස්කාර දැරියගේ සැකකාර මව ඇප මත මුදාහැරීමද මෙහිදී ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, මහේෂ් කොටුවැල්ල, චාන්දනී හටන්ගල, හේමන්ත ගමගේ, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, රේණුකා වික්‍රමාරච්චි, මදාරා විජේසිංහ යන මහත්ම මහත්මීන් සමඟ නීතීඥවරුන් වන ජයලත් අබේසිංහ, සුරංග මොහොටිටි සහ අමිල කොලොන්නආරච්චි යන මහත්වරුන් ඇතුළු නීතීඥවරුන් 20 දෙනෙකු පමණ පෙනී සිටියහ.

වින්දිත දැරියගේ සැකකාර මව වෙනුවෙන් නිතීඥ ප්‍රදීප් දිසානායක පෙනී සිටියේය.

දුෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීවරයෙකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් පෙනී සිටියේ නැත.

පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරිම සහ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දුෂණය සිදුකිරීමේ චෝදනා යටතේය.

මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 2006 අංක 16 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළදාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සදහා ආධාර අනුබල දීම යටතේය.