April 11, 2026

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාකිස්ථානයට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ආපසු ගෙවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කළ ඉල්ලීම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල යම් පීඩනයක් ඇති විය හැකි බවට ඉඟි කරයි.

විදෙස් වාර්තා පවසන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම බිලියන ගණනක ණය මුදල පියවන ලෙස ඉල්ලා සිටී.

මෙම ණය ආපසු ගෙවීම පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතයෙන් (ඇමරිකානු ඩොලර් බිලියන 16.4ක් පමණ වන) ලබා ගැනීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමඟින් පාකිස්ථාන රුපියලට පීඩනයක් එල්ල වීමටත්, රජයේ ණය ගැනීමේ පිරිවැය ඉහළ යාමටත් ඉඩ ඇත.

කලාපීය නොසන්සුන්තාව හමුවේ පාකිස්ථානය ඉරානය සම්බන්ධයෙන් සංකීර්ණ ස්ථාවරයක සිටින මෙවැනි සංවේදී කාලවකවානුවක මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ චීනය සමඟ එක්ව 2027 සැප්තැම්බර් දක්වා පාකිස්ථාන මහ බැංකුවේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක තැන්පතුවක් පවත්වා ගැනීමට එකඟ වී තිබුණි.

එබැවින් මෙම ණය මුදල නැවත ඉල්ලා සිටීම පාකිස්ථානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහනට අභියෝගයක් විය හැකිය.

කෙසේ වෙතත්, මූල්‍ය පීඩනය අවම කර ගැනීමට සහ සබඳතා ස්ථාවර කර ගැනීම සඳහා මෙම ණයවලින් කොටසක් ආයෝජනයන් ලෙස පරිවර්තනය කිරීමට සාකච්ඡා පවතින බව ද වාර්තා වේ.