October 1, 2024

ආණ්ඩු පෙරළියෙන් පසු පසුගියදා නිකුත් කෙරුණු රජයේ වාහන ආපසු භාර දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයට තම නම ඇතුළත් කිරීම සාවද්‍ය තොරතුරක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර පවසයි.

මාධ්‍ය වෙත නිකුත් කෙරුණු ලැයිස්තුවට අනුව පද්ම උදයශාන්ත ගුණසේකර Toyota Hilux වාහනයක් ආපසු ලබා දුන් බව සටහන් කර ඇත.

තමන් Toyota Hilux වාහනයක් භාවිත කර ඇති බවට සහ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට එහි පළවන තොරතුරු අසත්‍ය බව පවසමින් හිටපු මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

“මම 2004 මොණරාගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් 2015දී නැවත පාර්ලිමේන්තුවට පැමිණි පසු 2020 දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා. ඉන්පසුව මම ස්වාධීන පුද්ගලයෙක්. පෞද්ගලික හේතූන් මත මම දේශපාලනයෙන් ඉවත්වෙලා මෙරට දේශපාලනයට සම්බන්ධ කිසිම කටයුත්තක නියැලුණේ නැහැ,” යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර පවසන්නේ තමාගේ නම අවභාවිත කර ඇති අතර එහි සඳහන් පරිදි එවැනි රාජ්‍ය වාහනයක් භාවිත කර නොමැති බවයි.

අදාළ ලේඛනයේ සඳහන් පරිදි රජයේ වාහනයක් භාවිත කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

42.31%
17.27%
32.76%