July 15, 2026

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා මිලදී ගැනීමේ මහා පරිමාණ මූල්‍ය විමර්ශනයට අදාළ නඩුවේ දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික මට්ටමේ ඉංග්‍රීසි භාෂාවෙන් යුත් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළේය. ඇය එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය මේ වන විට මෙරටින් බැහැරව සිටින බැවින්, අන්තර්ජාතික පොලිසිය ඇතුළු විදේශීය විමර්ශන සහය ලබාගැනීම සඳහා මෙම ඉංග්‍රීසි විවෘත වරෙන්තුව අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර, මෙම නඩුවේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින්, සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනීසිටි මෙරට හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇප වගකීම්වලින් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇපකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයින්ට හදිසි විදේශගත වීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඔවුන් ඇප බැඳීම්වලින් නිදහස් කරන ලෙසත්, ඒ වෙනුවෙන් තැන්පත් කර ඇති රුපියල් මිලියන 10ක ඇප මුදලක් වුවද රාජසන්තක කිරීමට සූදානම් බවත්ය.

එහෙත්, නඩු ගොනුව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන වහාම පෙන්වා දුන්නේ, මෙම නඩුවේ නියමිත සැබෑ ඇප මුදල රුපියල් මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක් (මිලියන 20ක්) වන බවයි. ඇප මුදල් එලෙස ක්ෂණිකව රාජසන්තක කිරීමට ප්‍රථමයෙන් ඊට අදාළ නීතිමය පසුබිම කරුණු සහිතව අධිකරණය හමුවේ තහවුරු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

ඒ අනුව, ඇපකරුවන් එම වගකීමෙන් නිදහස් කර ගැනීමටත්, අදාළ ඇප මුදල් රාජසන්තක කිරීමටත් හේතු වන කරුණු ඇතුළත් ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත කැඳවීම ලබන ජූලි 22 වැනිදාට කල්තැබීය.