August 10, 2023

තම රාජකාරිය අත්හිටුවීමට හැකි වන්නේ ඉහළ අධිකරණයකට පමණක් බැවින්, තමා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා (JMO) ලෙස රාජකාරිය නිවැරදිව සිදුකිරීම වැළැක්වීමේ ද්වේශසහගත උත්සාහයක් ක්‍රියාත්මක වන බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල් හක් සඳහන් කර ඇත.

මේ වනවිට මෙරට අධිකරණ ගණනාවක විභාගවන වෛද්‍ය නීතිමය නඩු දුසිම් ගණනක රජයේ සාක්ෂිකරුවෙක් ලෙස තමා කටයුතු කිරීම කිසිවෙක්ට වැළැක්විය නොහැකියැයි, ඔහුට එරෙහිව පසුගිය දිනවල පළ වූ ජනමාධ්‍ය වාර්තාවලට එරෙහිව ප්‍රථම වරට ප්‍රතිචාර දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

අවාසනාවන්ත ලෙස වකුගඩු සැත්කමකින් මියගිය හම්ඩි ෆස්ලීන් නමැති තුන්හැවිරිදි දරුවාගේ මරණයට හේතුව ලෙස දරුවාගේ ‘ක්‍රියාකාරී වූ තනි වකුගඩුවක් ඉවත් කර ඇති’ බවට තම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි ඔහු පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පිටු අටකින් යුත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවකින් බොහෝ කරුණු විස්‌තර කර තිබෙන බවත්, එය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යැවීම සඳහා අවසන් වෙමින් තිබෙන බවත්, වෛද්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙනත් විෂය පථයකට අදාළ විශේෂඥ වෛද්‍යවරයෙක් නිකුත් කර ඇති වාර්තාවේද මේ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

ශල්‍යකර්මය වැරදි ලෙස සිදු කළ වෛද්‍ය නිලධාරියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම වෙනුවට ජනමාධ්‍ය තමන්ගේ වාර්තාවේ වැරදි සොයන බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන්ගේ ලියාපදිංචිය 2022 දෙසැම්බර් 20 වැනිදා සිට මාස අටකට අත්හිටුවා ඇති බැවින්, අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා ලෙස තම රාජකාරිය සිදුකිරීමට ඇති අයිතිය පැහැදිලි කරමින්, තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද වෛද්‍යවරයා පවසයි.

එම අභියාචනයට සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් හෝ කිසිවෙක්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්, තම රාජකාරිය අඛණ්ඩව ප්‍රායෝගිකව ඉටු කිරීමට තමන්ට පූර්ණ අයිතිය ඇති බව හෙතෙම සඳහන් කරයි.

එපමණක් නොව, තමන්ගේ වසර 23ක සේවා කාලය තුළ මෙම සේවයම ඉටු කළ වෛද්‍යවරුන් 12 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් සදහටම පිටව ගොස් ඇති අතර, ඔවුන්ගේ වෛද්‍ය නීතිමය කටයුතු තමන්ට භාර දී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

(Daily Mirror)