September 19, 2026

හොංකොංහි පැවති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පසු ශ්‍රී ලංකා නෙට්බෝල් පිල සමූහ ඡායාරූපයක් ගැනීමට සූදානම්වීමේදී “වයසක උන්දැලෑ හැම ෆොටෝ එකකටම රිංගනවා” යැයි නෙට්බෝල් පරිපාලනයට එරෙහි අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා නෙට්බෝල් විධායක සභාව තීරණය කර ඇති බව ‘දිනමිණ’ පුව්ටහ්පත වාර්තා කරයි.

එම පුවතට අනුව, ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපති හා ලේකම් ඇතුළු අට දෙනකුගෙන් සමන්විත විධායක සභාව පැනවූ මේ වසරක තරග තහනම පිළිබඳ පත්‍රිකාව නීතිඥ මණ්ඩලයකින් සමන්විත නෙට්බෝල් විනය කමිටුවට යොමු කොට ඇති අතර, එහිදී සිදුකරන විමර්ශනයකින් පසු දඬුවම පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශය වේ.

එම නෙට්බෝල් ක්‍රීඩිකාව රාජකාරි කටයුතු කරන හමුදා ආරක්ෂක සේවා ආයතනයට ද මේ බව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය දැනුම් දී ඇති අතර, එම ආයතනය මෙතෙක් තරග තහනම පිළිබඳ ප්‍රතිචාර දක්වා නැත.

නෙට්බෝල් පරිපාලනයේ සිටින වයසින් වැඩි නිලධාරිනියන් කිහිපදෙනකු ඉලක්කකොට නෙට්බෝල් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව කළ ප්‍රකාශය පිළිබඳ පැමිණිල්ල නෙට්බෝල් සංගමය වෙත එහි ලේකම් දමයන්ති ජයතිලක විසින් ඉදිරිපත්කොට ඇති අතර, මේ බව නායිකා තිසාලා අල්ගමට හා පුහුණුකාරිනී සොමිතා ද අල්විස්ට ද සිද්ධිය සිදුවූ අවස්ථාවේදීම ඇය විසින් පැමිණිලි කළ බව පවසා ඇත.

ක්‍රීඩිකාවන්ගේ විනය පිළිබඳ පැමිණිල්ල සභාපති වජිරා නෙත්තිකුමාරට ඉදිරිපත්වීමෙන් පසු එය විධායක සභාවේ සාකච්ඡා වී තරග තහනම පනවා ඇත.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මෙවර හොංකොංහි පැවති ආසියානු තරගාවලියේදී ඉතිහාස‍යේ දරුණුතම පසුබැසීමෙන් තෙවැනි ස්ථානයට පත්වූ අතර, මේ හේතුවෙන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා නෙට්බෝල් බලාපොරොත්තු ද සුන්වී ගියේය.

තරගාවලිය නිමාවීමෙන් අනතුරුව නෙට්බෝල් පරිපාලනය, පුහුණුකාරිනිය හා ක්‍රීඩිකාවෝ විවිධ ප්‍රකාශ මඟින් එකිනෙකාට චෝදනා කළහ.

වසර 2009දී මැලේසියාවේ පැවති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ සිට සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පිට පිට අවසන් තරගයට පැමිණ දස්කම් දැක්වූ අතර, ශ්‍රී ලංකාවෙන් ආසියානු නෙට්බෝල් අවසන් තරගයක් මෙවර ගිලිහී යෑම කැපීපෙනිණි.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකා නෙට්බෝල් පිල පිටත්ව යෑමේදී තෝරාගත් ක්‍රීඩිකාවන් පිළිබඳ මතභේදයක් පුහුණුකාරිනී සොමිතා ද අල්විස් හා ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය අතර පැනනැඟී, අවසානයේ වෛද්‍ය වාර්තා ගැටලුවකට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් විය.

තරගාවලියට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ හමුවී දුක් ගැනවිලි ඉදිරිපත් කළ අවස්ථා ද වාර්තා විය.