July 8, 2025

ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම්වලින් වැඩිම ප්‍රතිශතයක් සිදුවන්නේ හදිසි අනතුරු නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෑම වසරකම මිලියනයක පමණ පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන බව එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම ප්‍රකාශය සිදු කළේ ඊයේ (7) සිට ජූලි 11 දක්වා ජාතික අනතුරු වැළැක්වීමේ සතිය දියත් කරමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇස්තමේන්තුගත මිලියන තුනක පමණ ජනතාවක් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අනතුරුවලට මුහුණ දෙන බවයි.

“එය සෑම ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් වන තත්ත්වයක්”. ඔහු සඳහන් කළේය.

මෙම පුද්ගලයන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 15 – 45 අතරට අයත් වන අතර එය රටේ ශ්‍රම බලකායෙන් සැළකිව යුතු කොටසකි.

ශ්‍රී ලංකාවේ බහුලවම වාර්තා වන අනතුරු අතර මාර්ග අනතුරු, සතුන් සහ සර්ප දෂ්ට කිරීම්, විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීම, කැපුම් සහ පිළිස්සුම් ආදිය වේ.

වසරකට සියදිවි නසාගැනීම් 3,000ක් පමණ වාර්තා වේ.

අමාත්‍ය වෛද්‍ය ජයතිස්සට අනුව, අනතුරුවලින් 50%ක් පමණ සිදුවන්නේ හුරුපුරුදු පරිසරයන් තුළය.

සෑම වසරකම 10,000ත් 12,000ත් අතර පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් මිය යන බව ඔහු පැහැදිලි කළේය.

“අනතුරු හේතුවෙන් සිදුවන මරණවලින් 75%ක් පමණ සිදුවන්නේ වින්දිතයන් ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කිරීමට පෙරයි. මෙම අදියරේදී අප මැදිහත් වුවහොත්, මෙම ජීවිතවලින් සමහරක් බේරා ගැනීමට හැකි වෙන්න පුළුවන්.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

එපමණක් නොව, අනතුරු සැළකිව යුතු ආර්ථික පිරිවැයක් දරන බව ඔහු පැහැදිලි කළේ ඒවා රටේ ශ්‍රම බලකායට බලපාන නිසා පමණක් නොව, අනතුරු ආශ්‍රිත සේවාවන් සැපයීම සඳහා රජයට සැළකිව යුතු මහජන අරමුදල් වෙන් කිරීමට සිදුවන බැවිනි.

අනතුරු අඩු කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළේය.