
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ස්වභාවික පුණර්ජනනය වේගවත් කිරීම සඳහා අක්කර 125 ක් ( හෙක්ටයාර 50ක් ) පමණ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ වීරක්කොඩිචෝලේ රක්ෂිතයේදී ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම අත්සන් තැබීම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු පාර්ශවය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අත්සන් කළ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ. එච්. ඒ. බණ්ඩාර මහතා අත්සන් තැබීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු උපදෙස් මත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ආයෝජනය කෙරේ.
දේශීය පැළ වර්ග 35 000ක් පමණ මෙම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැළසුම් කර ඇත. එහිදී කුඹුක්, මී, කරඳ, ඇහැළ, දං, තිඹිරි, දිවුල්, මයිල, කොහොඹ, වීර, පලු ඇතුළු ශාක නැවත වගා කෙරේ.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “අපේ අමාත්‍යංශයේ වගකීම වනාන්තර රෝපණය කිරීමයි. මේ වෙනකොට වනාන්තර තිබෙන්නේ රටේ සමස්ත භුමියෙන් 30%ක් පමණයි. 2030 වන විට එය 32%ක් දක්වා වැඩිකරන්නට අවශ්‍යයි. ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යාපෘතියක් විදිහට කැළෑව වවන්න මෙවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට ලැබීම මගේ ජීවිතයේ ලැබුනු සුවිශේෂී අවස්ථාවක්.” යනුවෙන් පැවසීය.
එහිදී ඔලිම්පික් කමිටු ප්‍රධාන ලේකම් මැක්වෙල් ද සිල්වා අදහස් දක්වමින් “ අවුරුදු 03කට පෙර සිටම ‘ඔලිම්පික් ෆොරස්ට්’ යන සංකල්පය අපි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් සමඟ සාකච්ඡා කළ නමුත් එය ඉදිරියට කරගෙන යන්නට යම් යම් බාධා ඇති වුනා. නමුත් අද දවසේ ජාතික ඔලිම්පික් කමිටුව වශයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මඟපෙන්වීම මත මෙම ගිවිසුම අත්සන් තැබීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ඉතාමත් ආඩම්බර වෙනවා. මෙය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයත් ඇතිව කරන්නට ලැබීම අපි ලැබූ ඉතාම භාග්‍යයක්. මෙවැනි ව්‍යාපෘතියක් කරන්නට ගොඩක් රටවලට හැකියාව ලැබී නෑ. මෙවැනි අලුත් සංකල්පයක් ලංකාවෙන් බිහිකිරිම අපට ඉතා සතුටට කරුණක් කියන්න පුලුවන්. මෙය ජාත්‍යන්තර තලයට ගෙන යායුතු සංකල්පයක් ලෙස මම විශ්වාස කරනවා. මෙම සංකල්පය පාසල් තුළටත් ගෙනයා යුතුයි. මෙම සංකල්පය නිසි ආකාරයට ඉදිරියට ගෙනගියොත් දැන් තිබෙන පරිසර හානිය අඩු කරගන්නට හැකිවේ යැයි මම විශ්වාස කරනවා” යැයි පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart