September 5, 2026

දෙහිවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා දරාගත නොහැකි සේවා පීඩනය හේතුවෙන් සිය රාජකාරි ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

තමන්ට පවරා ඇති අධික වැඩකොටස සහ පීඩනය තවදුරටත් දරා ගැනීමට නොහැකි බව සඳහන් කරමින් එම පොලිස් පරීක්ෂකවරයා පොලිස් තොරතුරු පොතේ සටහනක් තබා මෙලෙස රාජකාරි ස්ථානයෙන් පිටව ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර විසින් ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් දී තිබේ.

මෙම සිද්ධිය අනෙකුත් පොලිස් නිලධාරීන්ටද නරක පූර්වාදර්ශයක් විය හැකි බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කනස්සල්ල පළකර ඇති බව පැවසේ.

පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව, දෙහිවල රථවාහන ස්ථානාධිපතිවරයාගෙන් සහ අදාළ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද වාර්තා වේ.