July 8, 2026

පසුගිය වසරේ අග භාගයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් නුවරඑළිය බස් නැවතුම්පොළේ පාලම සහ පැති බැම්ම පිළිසකර නොකිරීම හේතුවෙන්, අද (08) උදෑසන 07.00 ට පමණ එහි තිබූ මගී බස් රථයක් පොළොව ගිලාබැසීමෙන් තලගල ඔයට පෙරළී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති වුවද, බස් රථයට බරපතළ හානි සිදුව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති රම්‍ය සුදත් ගඩල්ලගේ චෝදනා කළේ, මාස හයකට අධික කාලයක් තිස්සේ නුවරඑළිය මහ නගර සභාව ඇතුළු බලධාරීන් මෙම ස්ථානය නිසි ලෙස සැකසීමට අපොහොසත් වීම අනතුරට හේතුව බවයි.

දෛනිකව පාසල් දරුවන් ඇතුළු 7,000 ත් 15,000 ත් අතර පිරිසක් මෙම අනාරක්ෂිත තාවකාලික මාර්ගය භාවිත කරමින් දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බවත්, වෙනත් විකල්ප ස්ථානයක් නොමැති කමින් බස් රථ මෙහි නැවැත්වීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

වගකිව යුතු ආයතන එකිනෙකාට වගකීම් පවරමින් සිටිනවා හැරෙන්නට පාලම ඉදිකිරීමට මෙතෙක් මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගෙන් ජනමාධ්‍ය කළ විමසීමකදී ඔහු කියාසිටියේ, බස් නැවතුම්පොළේ පාලම පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි.

ඒ අනුව, ඉදිරි සති කිහිපය ඇතුළත පාලම සහ පැති බැම්ම විධිමත් ලෙස සකස් කර මහජන භාවිතය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බවට නගරාධිපතිවරයා සහතික විය.