August 4, 2024

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා මාර්ගගත වීසා නිකුත් කිරීම මේ වනවිට නතර කර තිබේ.

ඒ, සිංගප්පූරුවේ ලියාපදිංචි GBS Technology Services, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි IVS Global-FZCO සහ ඩුබායි මූලස්ථානය වන VFS VF Worldwide Holdings Ltd යන සමාගම් අතර ත්‍රෛපාර්ශ්වික හවුල් ව්‍යාපාරයක මගින් මාර්ගගත වීසා සැකසීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්සන් කරන ලද ගිවිසුම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සිකුරාදා අත්හිටුවීමෙන් පසුවය.

ඊයේ, දෙපාර්තමේන්තුවේ නිල විද්‍යුත් වීසා වෙබ් අඩවියේ (srilankaevisa.lk) නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙසේය: “මෙම වේදිකාව ක්‍රියාත්මක වන ගිවිසුමට අදාළව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කරන ලද ඇතැම් අතුරු නියෝග පිළිබඳව අපට දැනුම් දී ඇත. මෙම නියෝග සැලකිල්ලට ගනිමින්, අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පැය 17:00 සිට ක්‍රියාත්මක වන පරිදි වෙබ් අඩවිය අත්හිටුවනු ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර https://www.immigration.gov.lk/index_e.php වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා සවස 5 න් පසු වීසා සඳහා අයදුම් කළ අයට මුදල් ආපසු ලැබෙනු ඇත.”

කෙසේවෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ සංචාරකයන්ට මෙරට විදේශ දූත මණ්ඩල හරහා නැවත වරක් වීසා ලබා ගත හැකි බවයි.

ඊට අමතරව රටට ඇතුළු වන ස්ථානවලදී on arrival visa ලබා ගැනීමට හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසා තිබේ.

මීට පෙර මාර්ගගත වීසා ප්‍රතිලාභ ලැබූ ව්‍යාපාරික සංචාරකයන්ට ද එම අවස්ථාව හිමිවේ.

මෙම ක්‍රියා පටිපාටිය නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන අතර, එම ක්‍රියාවලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), කුමුදිනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් වසර 12ක ගිවිසුම ප්‍රදානය කිරීමේ කැබිනට් තීරණය පසුගිය සිකුරාදා අත්හිටුවීමට නියෝග කර තිබිණි.

මීට අමතරව, නව VFS ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර මෙම වසරේ අප්‍රේල් 16 වැනි දිනට පෙර පැවති තත්ත්වය පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස අදාළ වගඋත්තරකරුවන්ට නියම කරන ලදී.

එම අතුරු නියෝග අධිකරණයේ අවසන් තීරණය ලබාදෙනතුරු බලපැවැත්වේ.

VFS සමාගම විසින් වීසා කටයුතු භාර ගැනීමට පෙර, SLT-Mobitel විසින් ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර වේදිකාව පවත්වාගෙන ගිය අතර ඒ යටතේ දින 30 ද්විත්ව පිවිසුම් සංචාරක වීසා සහ ද්විත්ව පිවිසුම් ව්‍යාපාරික වීසා (දින 90 දක්වා දීර්ඝ කළ හැක) යන වීසා කාණ්ඩ දෙකක් ක්‍රියාත්මක විය.

කෙසේවෙතත්, එතැන් සිට වීසා කාණ්ඩ ගණන 14 දක්වා වැඩිකර ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දී තිබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පවසා ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කාගේ විෂය පථය යටතට පැමිණේ ද යන්න ඉදිරියේ දී විමසා බැලිය යුතු බවයි.

මේ වනවිට නීති ඇතුළු සියල්ල වෙනස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැසට් කර ඇති බවත් මීට පෙර ක්‍රියාත්මක වූ පාර්ශ්වය නැවතත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නම් ඔවුන්ට සියල්ල කළ හැකි විය යුතු අතර ඔවුන් ඒ සඳහා වේදිකාවක් ඉදිරිපත් කළ යුතු බව ද ඇමැතිවරයා පවසා තිබේ.

එසේ කළ හැකිනම් ඔවුන්ටඑම කටයුතු හෙට වුවද ආරම්භ කළ හැකි බව ඇමැතිවරයා සඳහන් කර ඇත.

 

(The Sunday Times)