September 1, 2026

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින සංවේදී පරිසර පද්ධතියට සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, දිනපතා වනෝද්‍යානයට ඇතුළු වන සංචාරකයන් සංඛ්‍යාව සීමාකිරීමට සහ අන්තර්ජාලය ඔස්සේ පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ (online advance booking) ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලධාරීන් සැලසුම් කරමින් සිටී.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 29 වැනි දින හෝර්ටන්තැන්න පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සහ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම යෝජනාව සාකච්ඡාවට ලක්විය.

අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය හරහා ඕනෑම වේලාවක වනෝද්‍යානයට ඇතුළු වන සංචාරකයන් සංඛ්‍යාව පාලනය කිරීමටත්, සංචාරක කළමනාකරණය වඩාත් විධිමත් කිරීමටත් බලධාරීන්ට හැකියාව ලැබෙන බව නිලධාරීහු පැවසූහ.

අධික සංචාරක තදබදය අවම කරන අතරම, උසස් ප්‍රමිතියෙන් යුතු පාරිසරික වගකීම් සහිත සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ගැලපෙන ටිකට්පත් ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීම කෙරෙහිද අවධානය යොමුවී ඇත.

හෝර්ටන් තැන්න යනු එහි ඇති අනන්‍ය ජෛව විවිධත්වය සහ අතිශය සංවේදී පරිසර පද්ධතිය නිසාම UNESCO ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයකි.

මෙම පියවරයන්, ජාතික වනෝද්‍යානයේ දීර්ඝකාලීන සංරක්ෂණය තහවුරු කරමින් තිරසාර පාරිසරික සංචාරක ආකෘතියක් (sustainable eco-tourism model) ගොඩනැගීමේ පුළුල් වැඩසටහනක කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරේ.