July 5, 2026

කොළඹ ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුතින් ඉදි කරන ලද නව මහල් නිවාස සංකීර්ණයක් ඊයේ (04) කිරුළපනදී නිල වශයෙන් විවෘත කරන ලදී.

ඩී.එම්. කොළඹගේ මාවතේ පිහිටි මෙම The Residencies Kirulapone (ද රෙසිඩන්සීස් කිරුළපන) නිවාස ව්‍යාපෘතිය නේවාසික කුළුණු දෙකකින් (B1 සහ B2) සමන්විත වේ. ඉන් එක් කුළුණක් මහල් 11කින් යුක්ත වන අතර, මුළු නිවාස සංකීර්ණය සතු සමස්ත නිවාස ඒකක ගණන 624කි. මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 5.784ක පිරිවැයක් දරා සංවර්ධනය කර තිබේ.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ‘කොළඹ නාගරික පුනර්ජීවන වැඩසටහන’ යටතේ නිමකර ඇත.

නාරාහේන්පිට පූර්වාරාම සමගි මාවත, කිරිමණ්ඩල මාවතේ පිහිටි සමගි වත්ත සහ පිච්චමල් වත්ත යන ප්‍රදේශවලින් ප්‍රතිස්ථාපනය කරන ලද පවුල් මෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ පදිංචිකරුවන් සඳහා මෙම නිවාස ඒකක වෙන්කර දී තිබේ.

මෙම නිවාස සංකීර්ණය ගිනි ආරක්ෂණ සහ ගෑස් පද්ධති, ජල හා අපද්‍රව්‍ය පහසුකම්, මගී විදුලි සෝපාන, විදුලි සේවා සහ පොදු වාහන නැවැත්වීමේ අංගනයකින් සමන්විතය. මීට අමතරව පෙරපාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, සුපිරි වෙළඳසැලක්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, පොලිස් මුරපොලක් සහ ගිනි නිවීමේ ප්‍රතිචාර ඒකකයක් ද මෙහි ඇතුළත් කර ඇත.

පදිංචිකරුවන්ගේ ජීවන පරිසරය සහ ජීවනෝපාය මාර්ග තවදුරටත් නංවාලීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ මීළඟ අදියර යටතේ නව ප්‍රවේශ මාර්ග පහක් ඉදිකිරීම, කිරුළපන ඇළ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, ගංවතුර අවදානම අවම කිරීම සඳහා වැසි ජලය රඳවා ගැනීමේ පොකුණක් සකස් කිරීම, සාප්පු 38කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක්, ඇවිදින මංතීරු සහ ව්‍යායාම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බව බලධාරීහු ප්‍රකාශ කළහ.