August 21, 2026

පෙරහැර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ කටයුතු නීත්‍යනුකූලව විධිමත් කිරීම සඳහා වන නව ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට පෙරහැර සඳහා යොදාගන්නා අලි ඇතුන්ගෙන් බහුතරයක් අවුරුදු 65ත් 70ත් අතර වයස්වල පසුවන බව මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

පෙරහැර හෝ වෙනත් ආගමික උත්සව සඳහා අලි ඇතුන් ලබාදීම නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අධිකරණ තීන්දු කිහිපයක් හේතුවෙන් පෙර පැවති ගැසට් පත්‍රයේ ඇතැම් කොටස් ඉවත් කිරීමට සිදු වූ බවත්, බුද්ධශාසන අමාත්‍යාංශය සහ විෂය භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කර නව ගැසට් පත්‍රයක් සකස් කළ බවත් ඔහු පැවසීය.

එහි අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මක වේ.

සංස්කෘතික සහ ආගමික කටයුතු සඳහා අලින් යොදාගැනීම විධිමත් කරමින් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.