September 4, 2026

220 kV සහ 182 kV අධිබල විදුලි සම්ප්‍රේෂණ රැහැන්, කුළුණු සහ උපපොළවල් අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි ක්‍රියාකාරකම් මගින් ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල වන බවට සමාගම අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි රැහැන්වල පැටළීම හේතුවෙන් විදුලි දෝෂ හටගෙන පද්ධතිය ස්වයංක්‍රීයව විසන්ධි වීමෙන් අවස්ථා කිහිපයකදීම සම්ප්‍රේෂණ රැහැන් අක්‍රිය වූ බවයි.

එමෙන්ම, මෙලෙස පැටළෙන සරුංගල් සහ නූල් පාලිත ක්‍රමවේද යටතේ සේවකයන් ලවා ඉවත් කිරීමට සිදුවන අතර, එය පද්ධතියේ මෙහෙයුම් කටයුතුවලට අමතර බාධාවක් සහ පීඩනයක් එල්ල කරයි.

මෙවැනි සිදුවීම් මගින් ජාතික විදුලි බල පද්ධතියේ ආරක්ෂාවට සහ විශ්වසනීයත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි අතර, විදුලි ජනන යන්ත්‍ර පවා අක්‍රිය වීමට ඉඩ ඇති බව ජාතික පද්ධති මෙහෙයුම්කරු වැඩිදුරටත් අවධාරණය කරයි.

2026 සැප්තැම්බර් 2 වන දින ද සිදුවූ මෙවැනිම සිදුවීමක් හේතුවෙන් පද්ධතියේ ස්ථාවරත්වයට බාධා එල්ල වූ අතර, හදිසි පියවරක් ලෙස බෙදාහැරීමේ පෝෂක (Distribution feeders) කිහිපයක් විසන්ධි කිරීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවද සමාගම සඳහන් කරයි.

එබැවින්, ජාතික විදුලි පද්ධතියේ බාධාවකින් තොර ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කිරීම සඳහා සහාය වන ලෙස ඉල්ලා සිටින ජාතික පද්ධති මෙහෙයුම්කරු, අධිබල විදුලි සම්ප්‍රේෂණ රැහැන්, කුළුණු සහ උපපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටී.