May 28, 2026

මෙවර හජ්ජි උත්සවයත් සමග බංග්ලාදේශය තුළ දැඩි කතාබහට ලක්වී අනතුරුව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස ලෙස නම් තැබූ මී ගවයාගෙන් අනතුරුව බෙන්ජමින් නෙතන්යානු ලෙස නම තබා ඇති දැවැන්ත ඇල්බිනෝ වර්ගයේ මීහරකෙකු බංග්ලාදේශයේ අගනුවර ආසන්නයේ පිහිටි ගව ගොවිපොළකින් හමුවී තිබේ.

මෙම සත්වයා ද මේ වනවිට දැඩි අවධානයක් දිනාගත් සත්වයෙකු බවට පත්ව ඇත.

නාරායන්ගන්ජ් හි පිහිටි ‘SS Cattle Farm’ ගොවිපොළේ රඳවා සිටින, කිලෝග්‍රෑම් 750ක් බරැති මෙම මී ගවයාගේ සුවිශේෂී ඇලි පෙනුම සහ එම සත්වයාගේ දරුණු/ආක්‍රමණශීලී හැසිරීම නිසා දිනකට සිය ගණනින් නරඹන්නන් එම සත්වයා දැකබලා ගැනීමට පැමිණෙන බව වාර්තා වේ.

ගොවිපොළේ සේවකයන් පවසන්නේ මෙම සත්වයාගේ ඇති සටන්කාමී ස්වභාවය සහ වෙනස්ම ආකාරයේ ශාරීරික ලක්ෂණ නිසා ඌට “නෙතන්යාහු” යන නම තැබූ බවයි.

“නෙතන්යාහු හරිම දඟයි, ඒ වගේම ඌට තියෙන්නේ කපටි මොළයක්,” යැයි ගොවිපොළේ කළමනාකරුවෙකු දේශීය මාධ්‍ය වෙත පවසා තිබුණි.

“අපි ඌට කන්න දෙන්න යද්දිත්, ඌ සද්ද දාලා අපිට අංවලින් අනින්න හදනවා.”

එමෙන්ම, මෙම මීහරකාගේ ඇස්වල වර්ණය සහ රන්වන්-සුදු පැහැති හිසකෙස් රටාව ඊශ්‍රායල අගමැතිවරයාට යම් දුරකට සමාන බව එහි පැමිණෙන නරඹන්නන්ද පෙන්වා දී ඇත.

මෙම සත්වයා ඉතා කෙටි කලකින් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වී ඇති අතර, ඌ සිටින කුටිය අසල ඡායාරූප සහ වීඩියෝ ගැනීමට විශාල පිරිසක් රොක් වෙති.

“මම මෙතනට ආවේ මේ මීහරකා ගැන අහන්න ලැබුණු නිසයි,” සත්වයා දෙස දුර සිට බලා සිටි නරඹන්නෙකු පැවසීය.

මෙම මීහරකා ප්‍රසිද්ධියට පත්වූයේ, එම ගොවිපොළේම සිටි තවත් දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් වූ සත්වයෙකුට පසුවය. ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම තබා තිබූ කිලෝග්‍රෑම් 700ක් බරැති අනෙක් ඇල්බිනෝ මීහරකාය.

ගොවිපොළේ අයිතිකරු වන Ziauddin Mridha පවසන පරිදි, “ට්‍රම්ප්” ලෙස එම මී ගවයාට නම තබා ඇත්තේ ඌට තිබූ රන්වන් පැහැති හිසකෙස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩ විලාසිතාවට සමාන වූ බැවිනි.