August 27, 2026

මහබැංකු බැඳුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීම සඳහා නීතිමය බාධා පවතින බවත්, ඔහු නැවත මෙරටට ගෙන ඒම සඳහා පවතින වෙනත් නීතිමය මාර්ග පිළිබඳ බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

සිංගප්පූරු පුරවැසියෙකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම පවා වෙනස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාව කළ උදර්පණ ඉල්ලීම සිංගප්පූරු උදර්පණ පනතේ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නැති බව පවසමින් සිංගප්පූරු රජය විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

රජයට ඩොලර් මිලියන 11කට වැඩි පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් 2019 ජූනි මාසයේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබීය.

මේ අතර, විවිධ අපරාධ නඩුවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන ඒම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන 236ක් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එම රතු නිවේදන අතුරින් නිවේදන 110ක් ලබාගෙන ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය කර සිටි පුද්ගලයන් 66 දෙනෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති අතර, තවත් 97 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

ඉන් පුද්ගලයන් 39 දෙනෙකු සිටින ස්ථාන බලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, අවශ්‍ය කර සිටින තවත් එක් පුද්ගලයකු ලබන සතියේදී මෙරටට ගෙන ඒමට නියමිතය.