July 10, 2026

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් ප්‍රධාන දොරටුව කඩාගෙන පළායාම වැළැක්වීමට ක්‍රියාකළ බන්ධනාගාර නිලධාරියකුට, රැඳවියන් විසින් ජීවිත තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

“එළියෙදී අහුවුණොත් තෝව මරනවා” යනුවෙන් පවසමින් රැඳවියන් ඔහුට තර්ජනය කර ඇති අතර, විශේෂිතම කරුණ වන්නේ මෙම නිලධාරියා ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී පවා බන්ධනාගාරයේ හටගත් හදිසි තත්ත්වය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම සේවයට වාර්තා කර තිබීමයි.

දැනට පවතින අවදානම සැලකිල්ලට ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇත.

මෙම සමස්ත ගැටුම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තාට, ඔහු දැනට රඳවා සිටින බන්ධනාගාරයේ අනෙක් රැඳවියන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී තිබේ.

ප්‍රහාරයේ බරපතළකම නිසා ඔහුට මේ වන විට ඇවිදගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

විමර්ශනවලට අනුව සුරේෂ් ඇතුළු ඔහුගේ සහචරයින් 13 දෙනෙකු මෙම කැරැල්ල සැලසුම් කර ඇත.

එහිදී ‘රොකී’ නමැති රැඳවියා සුරේෂ් සමඟ එක්ව පසුබිමේ සිට කැරැල්ල මෙහෙයවා, ගැටුම අවසන් වූ පසු තමන් ඊට සම්බන්ධ නැති බව ඇඟවීමට සූක්ෂ්ම ලෙස නිලධාරීන් හා එක්ව අනෙක් රැඳවියන්ට ආහාර පාන බෙදීමටද හවුල් වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, උපක්‍රමශීලීව හැසිරුණු මෙම 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වන විට දැඩි ආරක්ෂාවක් සහිත බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව බන්ධනාගාරය සතුව තිබූ රිපිටර් වර්ගයේ ගිනිඅවි 22ක් සහ T58 වර්ගයේ ගිනිඅවි 10ක් සිය භාරයට ගෙන තිබේ. බන්ධනාගාරයේ ඇති සෙසු අවිද ඉදිරි පරීක්ෂණ සඳහා CID භාරයට ගැනීමට නියමිතය.

මේ අතර, ගැටුම අතරතුර බන්ධනාගාරයෙන් අතුරුදන් වී ඇතැයි සැකකළ රිපිටර් වර්ගයේ ගිනිඅවිය ද නැවතත් බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබියදීම සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.