April 15, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අද (15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර, පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජමහා විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් අගමැති දිනෙෂ් ගුණවර්ධනගේ හිස තෙල් ගෑහ.

අනතුරු රාජ්‍ය උත්සවයට එක්ව සිටි ජනතාවගේ හිස තෙල් ගෑම මහා සංඝරත්නය විසින් සිදුකෙරිණි.

හිස තෙල් ගෑමේ උත්සවයෙන් බලාපොරොත්තු වන ආකාරයට ජනතාවට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන බව එහිදී අගමැතිවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සෞඛ්‍ය ලේකම් පාලිත මහිපාල ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.